gossip lanka

එජාප කැබිනට් විෂය පථයන් 2ක් ශ්‍රීලනිපයට !

සම්මුතිවාදී ආණ්ඩුවේ තුල එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙන්කර ගෙන තිබු අමාත්‍යංශ විෂය පථයන් කිහිපයක් ඉදිරි කැබිනට් සංශෝධනයේදී දෙපාර්ශවය අතර හුවමාරු කර ගැනීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා එකඟතාවයට පත්ව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව මෙතෙක් ශ්‍රීලනිපය සතුව පැවති සමෘද්ධි (සමාජ සවිබල
ගැන්වීම්) හා කම්කරු අමාත්‍යංශ විෂය පථයන් එක්සත් ජාතික පක්ෂය වෙතත් එක්සත් ජාතික පක්ෂයට වෙන්කර දී තිබු උසස් අධ්‍යාපන හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ විෂය පථයන් ශ්‍රීලනිපය වෙතත් පැවරීමට නියමිතව ඇතැයි එම ආරංචිමාර්ග පවසයි.

සම්මුතිවාදී ආණ්ඩුව තුළ ශ්‍රී ලනිපය නියෝජනය කළ ඉල්ලා අස්වූ කැබිනට් අමාත්‍යවරු හය දෙනාගේ විෂය පථයන් වෙනුවෙන් තාවකාලික අමාත්‍යවරු වශයෙන් හතර දෙනෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ඊයේ (12දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන් අතර එහිදී එජාප සභාපතිව සිටි අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සමාජ සවිබල ගැන්වීම් හා කම්කරු හා කම්කරු වෘත්තීය සබඳතා විෂය පථයන් සඳහා දිවුරුම් දී ඇත්තේ ඉහත එකඟතාව අනුවය.

සිංහල අලුත් අවුරුද්දෙන් අනතුරුව පූර්ණ කැබිනට් සංශෝධනයක් කිරීමට නියමිතව ඇති අතර එහිදී එම අමාත්‍යංශ විෂය පථයන් සඳහා ස්ථිරව අමාත්‍යවරුන් පත්කිරීමට නියමිතය.

'ආණ්ඩුව ඉදිරියට ගෙන යනවා' - අගමැති

මේ අතර තලවතුගොඩ ලේක් විව් රෙසිඩන්ස් නිවාස සංකීර්ණයට මුල්ගත තැබීම වෙනුවෙන් ඊයේ (12) පැවැති උත්සවයට සහභාගීවෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් හා එක්සත් ජාතික පක්ෂය එක්ව නව වැඩපිළිවෙළක් යටතේ ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බවයි.

මේ පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර ඇති බවත් ඔවුන් සියලුදෙනාගේ අදහස් එක්කරගෙන ආණ්ඩුව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කියා සිටියේය.