gossip lanka

ශ්‍රීලනිපයේ සමෘද්ධිය එජාපයට !

සම්මුතිවාදී ආණ්ඩුවේ තුල එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙන්කර ගෙන තිබු අමාත්‍යංශ විෂය පථයන් කිහිපයක් ඉදිරි කැබිනට් සංශෝධනයේදී දෙපාර්ශවය අතර හුවමාරු කර ගැනීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා එකඟතාවයට පත්ව ඇති අතර එහිදී රටේ දිළිඳු භාවයට ස්ථිර විසඳුමක් පිරිනැමිමට එක්සත් ජාතික පක්ෂය සමෘධි අමාත්‍යංශය ඉල්ලා ඇතැයි නියෝජ්‍ය ඇමති අජිත් පි. පෙරේරා මහතා පැවසිය.

සමෘද්ධි (සමාජ සවිබල ගැන්වීම්) අමාත්‍යංශය එක්සත් ජාතික පක්ෂයට ලැබිම නව ගමනකට රට යොමු කිරිමට අවශ්‍ය ජවය හා ශක්තිය ලැබිමක් බව ඔහු කියා සිටියි.

ඉදිරි කැබිනට් සංශෝධනයේදී මෙතෙක් ශ්‍රීලනිපය සතුව පැවති සමෘද්ධි (සමාජ සවිබල ගැන්වීම්) හා කම්කරු අමාත්‍යංශ විෂය පථයන් එක්සත් ජාතික පක්ෂය වෙතත් එක්සත් ජාතික පක්ෂයට වෙන්කර දී තිබු උසස් අධ්‍යාපන හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ විෂය පථයන් ශ්‍රීලනිපය වෙතත් පැවරීමට නියමිතව ඇතැයි ආණ්ඩුවේ  අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

සම්මුතිවාදී ආණ්ඩුව තුළ ශ්‍රී ලනිපය නියෝජනය කළ ඉල්ලා අස්වූ කැබිනට් අමාත්‍යවරු හය දෙනාගේ විෂය පථයන් වෙනුවෙන් තාවකාලික අමාත්‍යවරු වශයෙන් හතර දෙනෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ඊයේ (12දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන් අතර එහිදී එජාප සභාපතිව සිටි අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සමාජ සවිබල ගැන්වීම් හා කම්කරු හා කම්කරු වෘත්තීය සබඳතා විෂය පථයන් සඳහා දිවුරුම් දී ඇත්තේ ඉහත එකඟතාව අනුවය.

සිංහල අලුත් අවුරුද්දෙන් අනතුරුව පූර්ණ කැබිනට් සංශෝධනයක් කිරීමට නියමිතව ඇති අතර එහිදී එම අමාත්‍යංශ විෂය පථයන් සඳහා ස්ථිරව අමාත්‍යවරුන් පත්කිරීමට නියමිතය.