gossip lanka

කැබිනට්‌ සංශෝධනය කල්යන ලකුණු !

අගමැතිවරයා සමග මෙතෙක් නිසි එකඟත්වයක් ඇතිකර ගැනීමට නොහැකිව ඇති බැවින් කැබිනට් සංශෝධනය අඟහරුවාදා (10) පෙර සිදුකිරීමට නොහැකි තත්වයක් උදාවී උදාවී ඇති බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

කෙසේවුවද, ජනාධිපතිවරයා පවසන්නේ, පෙරේදා (05 වැනිදා) රාත්‍රියේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමා හමු වූ අවස්‌ථාවේදී මෙම ඇමැති මණ්‌ඩල සංශෝධන පිළිබඳව කතා කළ බවත්, ඒ අනුව පූර්ණ අමාත්‍ය මණ්‌ඩලය සංශෝධනය සිදුවනු ඇති බවත්ය.


ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (06) ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමු වූ අවස්‌ථාවේදී ය.

ඉදිරියේදී විෂය පථ වෙනස්‌කම් සහිතව පූර්ණ අමාත්‍ය මණ්‌ඩල සංශෝධනයක්‌ සිදුකරන බව එහිදී පැවසු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, ඊට අදාළව කටයුතු කිරීම සඳහා එක්‌සත් ජාතික පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය යන දෙපාර්ශ්වය ඇතුළත් කමිටුවක්‌ පත්කරන බව ද සඳහන් කළේය.

කැබිනට්‌ සංශෝධනය විද්‍යාත්මක පදනමක සිට කරන බවත් මේ වනවිට ඇතැම් අමාත්‍යාංශවල විෂය පථයන් විද්‍යාත්මක පදනමක නොවන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

සීනි සම්බන්ධ විෂයට ඇමැතිවරුන් තිදෙනකු පත්කර ඇතැයි ද එසේම මහාමාර්ග හා අධ්‍යාපන යන එකිනෙකට නොගැලපෙන විෂයන් සඳහා එකම අමාත්‍යවරයකු පත්කර ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

''තනි ආණ්ඩු බැහැ- මම රටට වගකිව යුතුයි"

පාර්ලිමේන්තුවේ පවතින මන්ත්‍රී ධුරවල ව්‍යුහය අනුව "එකතු වීම තුළ මිසක් කිසිදු දේශපාලන පක්ෂයකට තනිවම ආණ්ඩුවක් පිහිටුවීමට අවකාශයක් නොමැති බව" තමන් පෙන්වා දී ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී කියා සිටියේය.

"විශ්වාසභංග යෝජනාව තුළ ඇතිවුන ප්‍රතිඵලය අපි කවුරුත් දන්නවා. මේ තත්වය තුළ පාර්ලිමේන්තුවේ මොන විධියේ දේශපාලන ප්‍රශ්න සහ අර්බුද ඇති වුනත් ජනාධිපතිවරයා විධියට මම රටට වගකිව යුතුයි" ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එම වගකීම් ඉටුකිරීමේ දී රජය ශක්තිමත් කිරීමට තමා බැඳී සිටින බව පැවසු ජනාධිපතිවරයා, රටට වගකියන ජනාධිපතිවරයෙකු ලෙස රජය දුර්වල වීමට කිසිසේත් ඉඩ නොතබන බව අවධාරණය කළේය.

"රජය ශක්තිමත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සිටින ඕනෑම අයෙකුට රජය සමග එක්විය හැකි අතර, ඒ වෙනුවෙන් තමා සියලුදෙනාට ආරාධනා කරන බවත්" ජනාධිපතිවරයා වැඩි දුරටත් පැවසිය.