gossip lanka

'ආණ්ඩුවේ ආයු කාලය සති 3 යි' - ඒකාබද්ධය කියයි

වත්මන් ආණ්ඩුවේ ආයු කාලය තවත් සති තුනකින් අවසන් වන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ නිවසේ ඊයේ පස්වරුවේ පැවති විශේෂ සාකච්ජාවකින් අනතුරුව
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
 

සන්ධානයේ 96 න් 70 ක් එළියේ !

පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 96 දෙනාගෙන් 70 දෙනෙකුම මේවනවිට විපක්ෂයට එක්ව තිබේ.

සන්ධානයේ මන්ත්‍රීවරුන් 54 දෙනෙකු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයට පක්ෂවූ ශ්‍රීලනිප 16 කණ්ඩායමද ඊයේ (11) මධ්‍යම රාත්‍රී ආණ්ඩුවේ තනතුරු වලින් ඉවත්විය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ සන්ධාන මන්ත්‍රීවරුන්ගෙන් සාතිශය බහුතරය විපක්‍ෂය නියෝජනය කරයි.

ඒකාබද්ධයට එක්වෙන්නේ නැහැ - දයාසිරි

කෙසේවුවද අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පවසන්නේ, සිය කණ්ඩායම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කණ්ඩායමක් ලෙස අසුන් ගත්තද ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට එක් නොවන බවයි.

 බීබීසී සිංහල සේවයට ඔහු එබව අවධාරණය කර සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන තම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් 16 දෙනාම සිය තනතුරුවලින් ඉවත්වූ බවත්  ක්‍රීඩා අමාත්‍යධුරය දැරූ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කියා සිටියේය.

සිය කණ්ඩායමේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගනු ලැබූ බවද හිටපු අමාත්‍ය ජයසේකර මහතා සඳහන් කළේය.

කෙසේවුවද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධාන ආණ්ඩුවේ පාර්ශ්වකරුවකු ලෙස තවදුරටත් රැඳී සිටින්නේද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කෙරෙනු ඇති බව ද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පැවසිය.

ආණ්ඩුව තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට !

මේ අතර ඊයේ (11) රැස්වූ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන මණ්ඩලය, යහපාලන ආණ්‌ඩුවේ අනෙක්‌ ප්‍රධාන පාර්ශ්වකරු වන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මැති ඇමැතිවරුන් විවේචනය නොකිරීමට තීරණය කර තිබේ.

මෙම රැස්වීමට පෙර විශ්වාස භංගය ඡන්දය දීමෙන් වැලකී සිටි ශ්‍රීලනිප මැති ඇමතිවරුන් අගමැති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ජාවක් පැවැත්විය. ඒ ජනාධිපතිවරයාගේ උපදෙස් මතය.

අඩුපාඩු හදා ගනිමින් සම්මුතිවාදී ආණ්ඩුව තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට මෙහිදී එකඟත්වයට පැමිණ තිබේ.