gossip lanka

සම්මුති ආණ්ඩුව පෙරට : ජනපති ගෙන් අගමැතිට සහතිකයක් !

සම්මුති ආණ්ඩුව බිඳ වැටීමට ඉඩ නොතබන බවටත් මෙම මස 14 වනදාට පෙර කැබිනට් සංශෝධනයක් සිදුකරන බවටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (10) උදැසන අගමැතිවරයාට දැනුම් දී ඇත.

ඒ කැබිනට් මණ්ඩල රැස්වීමට පෙර ඔවුන් දෙදෙනා අතර පැවති
සාකච්ජාවකදීය.

අනතුරුව කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද ජනාධිපතිවරයා නැවත වරක් එජාප අමාත්‍යවරුන් හමුවේ එබව අවධාරණය කර තිබේ.

ඊයේ රාත්‍රී රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණයක් මත ශ්‍රීලනිප අමාත්‍යවරුන් අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී නොවිය.

සම්මුති ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් නොමැතිව අමාත්‍ය මණ්ඩල රැස්වීමක්  පැවතියේ පළමු වරටය.

පසුගියදා පැවති විශ්වාස භංගයේදී අගමැතිවරයාට එරෙහිව ඡන්දය දුන් ශ්‍රීලනිපයේ 16 කණ්ඩායම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර සාකච්ජාවේදී හෝ කැබිනට් මණ්ඩල රැස්වීමේදී කිසිවක් කහබහට ලක්ව නොමැත.