gossip lanka

ආණ්ඩුව ඇතුලේ ඉන්නේ කොහොමද ? - ශ්‍රීලනිප තීරණය සඳුදා !

යහපාලන ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භූමිකාව කෙසේ විය යුතුද යන්න සඳුදා (09) රාත්‍රී පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය කිරීමට නියමිතය.

විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලනිපය දෙකට බෙදී කණ්ඩායම් දෙකක් ලෙස ඡන්දය දීම, පක්ෂයේ තීන්දු තීරණවලට විරුද්ධව යෑමක් බැවින් සඳුදා පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී මේ ප්‍රශ්නය ගැන උණුසුම් අදහස් දැක්වීමක් සිදුවීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බව ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාවේ ජේ‍යෂ්ඨයෙක් පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී ආණ්ඩුව තුල කටයුතු කරන ආකාරය ගැන මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කොට තීරණයකට එළැඹෙන බව ඊයේ (06) ජනාධිපති මන්දිරයේ පැවැති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හා කර්තෘවරුන්ගේ හමුවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව සහ ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටි අමාත්‍යවරුන් ගැන එහිදී නැගුණ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිවරයා "යහපාලන රජයේ ඉදිරි ගමන ගැන අගමැති රනිල් වික්‍රමසිංහ සමග බ්‍රහස්පතින්දා රාත්‍රීත් සාකච්ඡාවක් පැවැත්වුණු බව" අනාවරණය කළේය.

''තනි ආණ්ඩු බැහැ- මම රටට වගකිව යුතුයි"

පාර්ලිමේන්තුවේ පවතින මන්ත්‍රී ධුරවල ව්‍යුහය අනුව "එකතු වීම තුළ මිසක් කිසිදු දේශපාලන පක්ෂයකට තනිවම ආණ්ඩුවක් පිහිටුවීමට අවකාශයක් නොමැති බව" තමන් පෙන්වා දී ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී කියා සිටියේය.

"විශ්වාසභංග යෝජනාව තුළ ඇතිවුන ප්‍රතිඵලය අපි කවුරුත් දන්නවා. මේ තත්වය තුළ පාර්ලිමේන්තුවේ මොන විධියේ දේශපාලන ප්‍රශ්න සහ අර්බුද ඇති වුනත් ජනාධිපතිවරයා විධියට මම රටට වගකිව යුතුයි" ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එම වගකීම් ඉටුකිරීමේ දී රජය ශක්තිමත් කිරීමට තමා බැඳී සිටින බව පැවසු ජනාධිපතිවරයා, රටට වගකියන ජනාධිපතිවරයෙකු ලෙස රජය දුර්වල වීමට කිසිසේත් ඉඩ නොතබන බව අවධාරණය කළේය.

"රජය ශක්තිමත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සිටින ඕනෑම අයෙකුට රජය සමග එක්විය හැකි අතර, ඒ වෙනුවෙන් තමා සියලුදෙනාට ආරාධනා කරන බවත්" ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසිය.