gossip lanka

රතිඤ්ඤා දල්වන්නට පෙර අහිංසක සතුන් ගැනත් හිතන්න

මෙවර සිංහල අළුත් අවුරුදු සමයේ රතිඤ්ඤා දැල්වීමට පෙර ගෘහස්ථ සතුන් ඇතුළු තමන් අවට පරිසරයේ ජීවත් වන සතුන් පිළිබඳවද සිතා කටයුතු කරන ලෙස සත්ව අවිහිංසා, සත්ව හිමිකම් සහ සත්ව සුභසාධන සංවිධාන මහජනතාවගෙන් ඉල්ලා සිටීනවා.

විශේෂයෙන් රතිඤ්ඤා දැල්වීමේදී ඇතිවන අධික ශබ්දය අප අවට
වෙසෙන සුනඛ ආදී සතුන්ට පීඩාකාරී වේදනාවක් බව පෙන්වා දෙන එම සංවිධාන වැඩිදුරටත් අනාවරණය කරනුයේ එම පීඩාකාරී වේදනාව දරා ගත නොහැකිව සිහිවිකල්ව දුවන සුනඛ ආදී සතුන් රිය අනතුරුවලට ලක්ව අකල් මරණ වලට  ලක්වූ අවස්ථා නිරතුරුව වාර්තා වන බවය.

ඒ හැරුණු කොට රතිඤ්ඤා වලින් ඇතිවන අධික ශබ්දය නිසා ඇතැම් සතුන්ගේ ශ්‍රවණේද්‍රියන්ට හානි සිදුවී කන් නෑසෙන තත්වයක් හට ගත හැකි අතර එම කම්පනය නිසා ඇතැම් සතුන් ක්ෂණික මරණ වලට පවා ලක්විය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.  මේ සම්බන්ධයෙන්  අදහස් පළ කළ ‘අහිංසා ශ්‍රී ලංකා‘ සත්ව හිමිකම් සහ සුභසාධන සංවිධානයේ විධායක සභික පශු වෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා,  "සත්ව ලෝකයේ සියළුම රහස් මිනිසුන් අවබෝධ කරගෙන නැහැ. නමුත් දැනට අවබෝධ කර ගෙන ඇති කරුණු අනුව සුනඛ ආදී ගෘහස්ථ සතුන්ගේ ශ්‍රවණ සංවේදීතාව හෙවත් ශ්‍රව්‍ය පරාසය හෙවත් කන් ඇසීමේ හැකියාව මිනිසුන්ට වඩා බෙහෙවින් තීව්‍රර බව තහවුරු වී තිබෙනවා.  ඒ අනුව අපට සුළුවෙන් ඇසෙන ශබ්දයක් ඔවුනට දරාගත නොහැකි මහ හඬක් සේ ඇසී යා හැකිය. මෙය ගෘහස්ථ සතුන්ට සේම අප ජීවත් වන පරිසරයේ වෙසන අනෙක් සතුන්ටත් එක සේ බලපාන තත්වයක්.  ඒ නිසා මෙවන් උත්සව සමයක රතිඤ්ඤා දැල්වීමේදී ඒවායේ අධික ශබ්දය සහ දැල්වෙන කාලය වටහාගෙන නිසි කළමනාකරණයකට ලක් කර ගත හොත් ඒ සතුන්ගේ ජීවත් වීමේ අයිතිය අප අතින් කෙලෙසෙන්නේ නෑ.  මේ පණිවිඩය කුඩා දරුවන් හට ලබා දීමෙන් ඔවුන්ටත් අනාගතයේ මේ තත්වය පාලන කිරීමට හැකි වනු ඇති." යැයි පවසනවා.