gossip lanka

අද මැදියම් රැයේ සිට බස් රථ වර්ජනයක !

ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ඊයේ (15දා) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ බස් ගාස්තු සංශෝධනය, බස් ධාවනයේදී පිරිවැය විචල්‍යයේදී හඳුනාගත් වෙනස්කම් අනුව කිලෝමීටරයකට බස් ධාවන පිරිවැය නැවත ගණනය කර යෝජිත බස් ගාස්තු සංශෝධනය කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

බස් ගාස්තු සංශෝධනය සඳහා වූ විද්වත් කමිටුව ඉකුත් 14දා රැස් වී දීර්ඝ
වශයෙන් සාකච්ඡා කර බස් ගාස්තුවට අදාළ නිර්ණායකයන් 12ක් සැලකිල්ලට ගනිමින් ඒ මත පදනම් වූ සංශෝධිත බස් ගාස්තුව සියයට 6.56කින් වැඩි කළ යුතු බව නිර්දේශ කළ බවත් දැනට අය කරන සියයට 10ක අවම බස් ගාස්තුව එලෙසම පැවැතිය යුතු බවට නිර්දේශ කළ බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම සංශෝධනයට අදාළ ගාස්තු චක්‍රය ජාතික ගමනාගමන කොමිෂන් සභාව මඟින් කඩිනමින් ජනතාව හා බස්හිමියන් වෙත දැනුම් දීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබේ.

බස් ගාස්තුවලට අදාළ තම ඉල්ලීම්වලට රජය යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් අද (16දා) මධ්‍යම රාත්‍රියේ සිට සියලුම බස්රථ සංගම් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන් ප්‍රියන්ජිත් මහතා සඳහන් කරයි.

අවම බස් ගාස්තුව රුපියල් 10 රුපියල් 15 දක්වා ඉහළ නැංවීම, ඉන් ඔබ්බට බස් ගාස්තු සියයට 20කින් ඉහළ නැංවීම යන ඉල්ලීම් පිළිබඳව නොසලකා අවම ගාස්තුව වෙනසක් නොකර සෙසු ගාස්තු සියයට 6.56කින් ඉහළ නැංවීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, දිස්ත්‍රික් බස් හිමියන්ගේ සංගම් ඇතුළු බස් සංගම්වලට අයත් බස් රථ 17,000කට අධික ප්‍රමාණයක් ධාවනයෙන් ඉවත් කරන බව ප්‍රධාන ලේකම්වරයා පවසයි.

අවම බස් ගාස්තුව වෙනසක් නොකර සෙසු බස් ගාස්තුවල සියයට 6.56ක වැඩිවීමක් සිදුකළ යුතු බවට විද්වත් කමිටුව විසින් කරන ලද නිර්දේශයට අදාළව ප්‍රවාහන ඇමැතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඊයේ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවූ අතර සංශෝධිත බස් ගාස්තු අද සිට ක්‍රියාත්මක විය යුතු යැයි කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

වාර්ෂිකව බස් ගාස්තු සංශෝධනය කිරීමේ ජාතික ප්‍රතිපත්තියට අදාළ නිර්ණායක මත විද්වත් කමිටුව විසින් නව ගාස්තු සංශෝධනය නිර්දේශ කර ඇති මුත් ඊට එකඟවීමට බස් සංගම් අකැමැත්ත පළ කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේය. කෙසේ වුවද කැබිනට් තීරණයට අදාළව සියයට 6.56කින් ශ්‍රී ලංගම බස් ගාස්තු අද සිට ඉහළ නංවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. නව ගාස්තු සංශෝධනයට අදාළ ගාස්තු චක්‍රය ජාතික ගමනාගමන නියාමන කොමිසම මඟින් ඊයේ සවස් වන විට ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද හෙතෙම සඳහන් කළේය.

ඩීසල් මිල රුපියල් 14කින් වැඩිවීම පමණක් පදනම් කරගෙන නව ගාස්තු සංශෝධන ඉදිරිපත් නොකළ බව පෙන්වා දෙන ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා ටයර් ටියුබ්, ලිහිසි තෙල්, අමතර උපකරණ සේවා, ගාස්තු ලීසිං හා බැංකු පොලී ඉහළ යෑම, රුපියලේ අගය බාල්දුවීම, සේවක වැටුප් ඉහළ යෑම ඇතුළු කරුණු පදනම් කරගෙන නව ගාස්තු සංශෝධනය රජයට ඉදිරිපත් කළ බව සඳහන් කළේය.

සියයට 10ක ගාස්තු වැඩිවීමක් ප්‍රමාණවත් යැයි සෙසු බස් සංගම්වලට පටහැනි මතයක් ප්‍රකාශ කළ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා 'මව්බිම' කළ විමසුමකට පිළිතුරු දෙමින් පැවැසුවේ රජය විසින් ලබාදී ඇති බස් ගාස්තු වැඩිවීම කෙසේවත් පිළිගත නොහැකි බැවින් අද රාත්‍රියේ සිට තම සංගමයටද අනිවාර්යයෙන්ම බස් රථ ධාවනයෙන් ඉවත් කරගැනීමට සිදුවන බවයි.

- මවුබිම