gossip lanka

කීත් නොයාර්ට පහරදීම ගැන කතානායකගෙන් ප්‍රකාශයක්

මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් කතානායක කරු ජයසුරිය මහතාගෙන් අද (17) සවස ප්‍රකාශයක් සටහන් කරගන්නා බව රහස් පොලිසිය පවසයි.

පොලිස් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යවා කතානායකවරයාගෙන් මේ  ප්‍රකාශ සටහන් කරගන්නා බව රහස් පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

කීත් නොයාර් මහතා පැහැර ගැනීමට ලක්වු
අවස්ථාවේ දී ඒ පිළිබඳව එවකට ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතාට මුලින්ම දැනුම් දී ඇත්තේ කරු ජයසුරිය මහතා විසින් යැයි පැවසේ. එවිට කරු ජයසුරිය මහතා රාජ්‍ය පරිපාලන ඇමැති ලෙස කටයුතු  කළේය.

රහස් පොලිසිය කරු ජයසුරිය මහතාගෙන් ප්‍රශ්න කිරිමට යන්නේ කීත් නොයාර් පැහැර ගෙන යාමේ සිද්ධිය දැනගත් ආකාරය හා තවත් සිද්ධීන් කිහිපයක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට යැයි දැනගන්නට ඇත.

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගැනීමට ලක්වුයේ 2008 වර්ෂයේ දීය. ඒ වන විට ඔහු ‘ද නේෂන්’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ වශයෙන් කටයුතු කළේය.

කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශයේ මේජර්වරයකු ඇතුළු හමුදා සාමාජිකයෝ අට දෙනෙක් මේවන විට රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති.