gossip lanka

ළමාහේවා බේරන්න බන්ධනාගාර කොමසාරිස් සම්මාදමේ !

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටින බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා මහතා බේරා ගැනීමට නීතීඥ ගාස්තු ගෙවීමට යැයි කියමින් බන්ධනාගාර අධිකාරීවරුන් හා වැඩබලන අධිකාරීවරුන්ගෙන්  මුදල් එකතු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
බන්ධනාගාර අමාත්‍යවරයා වෙත පැමිණිලි ලැබී ඇතැයි වාර්තා වේ.

මේ මුදල් එකතුවීමට මූලික වී ඇත්තේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිහාන් ධනසිංහ මහතා බවද පැවසේ. එක් අයෙකුගෙන් රුපියල් 5,000 ක මුදලක් එකතු කර ඇති බවද වාර්තා වේ.

සහකාර අධිකාරී සංගමයේ රැස්වීමකදී මේ තීන්දුව ගෙන ඇති බව පැවසෙන අතර කෙසේවුවද අදාළ රැස්වීමේදී ඇතැම් සහකාර අධිකාරීවරුන් විසින් රුපියල් 5,000ක තරම් මුදලක් ලබාදිය නොහැකි බව පවසා තිබේ.

කෙසේවුවද, එම අවස්ථාවේදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිහාන් ධනසිංහ මහතා රුපියල් 5,000ක මුදල ලබාදෙන ලෙස තදින්ම සිට ඇතැයි ද පැවසේ.

මේ සඳහා සහයට ගාල්ල බන්ධනාගාරයේ වැඩබලන අධිකාරී ජගත් වීරසිංහ මහතා ද හවුල්ව ඇති බව වාර්තා වේ.

හිටපු කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා ඔහුගේ ගජයකු බවද බන්ධනාගාර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කෙසේවුවද, වීරසිංහ මහතා වැඩබලන අධිකාරීවරයකු ලෙස පත්ව සිටියද ඔහු වැඩබලන අධිකාරී ධූරයට පත් කිරීමට අවශ්‍ය සේවා කාලය සම්පූර්ණ කර නොමැති බවද පැවසේ.

22 දා තෙක් රිමාන්ඩ් !

වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මේ මස 22 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (08) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාලව සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය එලඹෙන නඩු දිනයේදී අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබිණි.

2012 වසරේ නොවැම්බර් 09 වන දා වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැඳවියන් 27 දෙනෙකු මිය ගියේය.