gossip lanka

සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ මහ මොළකාරිය ?

සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ මහ මොළකරු මලික් සමරවික්‍රම නොව සංවර්ධන උපාය මාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන පවසයි.

අමාත්‍ය මණ්ඩලය පමණක් නොව ජනාධිපතිවරයා ඇතුළුව ජනතාවද
නොමඟ යවමින් පිටු 1,087කින් සමන්විත ගිවිසුමක් සකස් කර සිංගප්පූරුව සමඟ එම නිදහස් වෙළෙඳ ගිවිසුම අස්සන් කළේද එම ලේකම්වරිය

ඇතුළු නිලධාරි මණ්ඩලය බවත්, ඊට පූර්ණ සහයෝගය සංවර්ධන උපාය මාර්ග හා ජත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම දක්වා ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

මන්ත්‍රිවරයා මෙය සඳහන් කළේ වජිරාශ්‍රමයේ ඊයේ (13දා) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකදීය.

මැයි පළමු වැනිදා සිට ක්‍රියාත්මක ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම මඟින් විදෙස් ශ්‍රමිකයන් ඇතුළු වෘත්තිකයන්ට රටට ඇතුළු වීමට අවසර ලැබෙන බවත් ඒ මඟින් රටේ ජනතාවට තිබූ රැකියා අවස්ථා අහිමි වන බවත් මන්ත්‍රිවරයා එහිදී කියා සිටියේය.

ගිවිසුම අස්සන් කළේ කැබිනට් අනුමැතියෙන්

කෙසේවුවද සංවර්ධන උපාය මාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය පවසන්නේ, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයාට ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම අස්සන් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල තීරණ මඟින් 18/01/16 වැනි දින කැබිනට් අනුමැතිය ලබාදී තිබෙන බවත්, ඒ සඳහා නීතිපතිගේ නිර්දේශ ලැබී තිබෙන බවත්ය.

ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම නීත්‍යනුකූල නොවන ආකාරයට අස්සන් තබන ලද ගිවිසුමක් යැයි කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

ශ්‍රී ලංකා හා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට 2017/12/22දා අමාත්‍ය මණ්ඩල සන්දේශය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බවත් එම අමාත්‍ය මණ්ඩල සන්දේශය 18/01/02 සහ 18/01/09 වැනි දිනවල පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවට බඳුන්කර නීතිපතිවරයාගේ නිරීක්ෂණ ලබා ගැනීමෙන් පසුව ගිවිසුමේ අවසන් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය 2018/01/16 වැනි දින අමාත්‍ය මණ්ඩල තීරණ මඟින් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයාට ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සඳහා අනුමැතිය ලබාදුන් බවත් මේ සම්බන්ධව කරුණු පැහැදිලි කරමින් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශ සඳහන් කරයි.

විදෙස් ශ්‍රමිකයන්ට රටට ඇතුළු වීමට අවසර ලබාදී නැහැ !

මේ ගිවිසුම හරහා ඉන්දියානු, මැලේසියානු හෝ වෙනත් කිසිදු රටක අග්‍ර හා බලාත්මක ජාතිකත්වයක් සහිත පුද්ගලයකුට කුමන තරාතිරමක සේවයක් කිරීමට හෝ ශ්‍රී ලංකාවට පැමිණීමට කිසිදු අවස්ථාවක් ලබාදී නොමැති බවද එම කරුණු පැහැදිලි කිරීමෙහි සඳහන් වේ.

ඒ අනුව මෙරට ආයෝජනය සිදුකරන සිංගප්පූරු සමාගමක ශාඛා අතර හුවමාරු වන කළමනාකරුවන් විධායකයන් හා විශේෂඥයන් හා ඉහළ නිලධාරි මට්ටමේ සේවය කරන සිංගප්පූරු ජාතිකයන් සඳහා පමණක් සීමාකොට තම රටට ඇතුළුවීමේ අවස්ථාව ලබාදී තිබෙන අතර එවැනි කාණ්ඩවලට අදාළ වන සිංගප්පූරු ජාතිකයන්ද වසර 5ක පළපුරුද්දක් හා අදාළ සමාගම තුළ අවම වශයෙන් වසරක සේවා කාලයක් සම්පූර්ණ කොට තිබීම සහ ඔවුන්ගේ ඇතුළු වීමද ආරම්භයේදී වසර දෙකට හා සේවා දිගුකිරීම් සහිතව වසර 5ක උපරිමයකට යටත් වේ.

''වෙනත් රටක නිපදවන භාණ්ඩ මෙරටට ගෙන්වීමට අවසර දී නැහැ "

එසේම මේ ගිවිසුම හරහා නිදහස් වෘත්තිකයන් හා සේවකයන්ට ශ්‍රී ලංකාවේ සේවය කිරීමට වෙනත් රටක නිපදවන භාණ්ඩ මෙරටට ගෙන්වීමටද කිසිදු අවස්ථාවක් හිමිනොවන බවත් එහි දැක්වේ.

මෙම ගිවිසුම හරහා දේශීය කර්මාන්තවලට බලපාන 20%ක් හෙවත් තීරුබදු රේඛා 1,488ක තීරු බදු ආහෝසි කිරීමට භාජන නොවන හෙයින් දේශීය කර්මාන්තකරුවන්ට අහිතකර බලපෑමක් සිදුනොවන බවත් දේශීය කර්මාන්තකරුවන්ට තම කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය අඩු මුදලකට ලබා ගැනීමටද මේ හරහා හැකියාව ලැබේ.

මේ සතියේදී ප්‍රමුඛ සිංගප්පූරු ආයෝජකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා හඳුනා ගැනීමට මෙරට වෙළෙඳ ප්‍රජාව සමඟ සාකච්ඡා පැවැත්වීමට මෙරටට පැමිණ තිබෙන බවද සඳහන් කරන අමාත්‍යාංශය මේ ගිවිසුම ශ්‍රී ලංකාවේ ආනයන වියදම් අඩු කිරීමට උද්ධමනය අඩු කිරීමට, ජීවන වියදම පහළ දැමීමටද හේතු වනු ඇතැයි විශ්වාසය පළ කරයි.

- srilankamirror