gossip lanka

දුරකථන කුළුණු බද්දත් සමාගම් ජනතාවට විතැන් කරයි !

මෙවර අයවැය යෝජනා යටතේ යෝජනා කළ දුරකථන කුළුණු සඳහා මසකට රුපියල් ලක්ෂ 2ක බද්දෙන් 10% කොටසක් දුරකථන සමාගම් විසින් එම කුළුණු තැනීමට බිම් තීරු හා ගොඩනැගිලිවල කොන්ක්‍රීට් තට්ටු ලබාදී ඇති අයගෙන් අයකරගෙන ඇතැයි වාර්තා වේ.
කෙසේවුවද, සමාගම් මෙසේ අදාල ගෙවීම්වලින් 10%ක් කපාගෙන ඇත්තේ ඔවුන්ගේ කුළුණු ඉදිකර ඇති ස්ථානවල හිමිකරුවන් සමඟ ඇති
කරගෙන තිබෙන ගිවිසුම්ද උල්ලංඝනය කරමිණි.

දුරකථන සමාගම් සතුව දුරකථන කුලුණු 11,192ක් රටපුරා ඉදිකර තිබෙන අතර එක් කුළුණකින් රුපියල් ලක්ෂ 2ක් අය කිරීමට ගන්නා ලද යෝජනාව අනුව මසකට රුපියල් දෙසිය විසිතුන් කෝටි අසූහතර ලක්ෂයක (2238,40,0000) මුදලක් අදාළ දුරකථන සමාගම්වලට මේවන විට ගෙවීමට සිදුව ඇති බව පැවසේ.

ඒ අනුව වසරකට රුපියල් දෙදහස් අසූහය කෝටි අසූ ලක්ෂයක (26860,80,0000) බදු මුදලක් ගෙවීමට දුරකථන ආයතනවලට සිදුව තිබේ.

දුෂ්කර ප්‍රදේශයන් හි ඇති ඇතැම් කුළුණු වලින් එම සමාගම්වලට ඊට මාසිකව වෙන්කරනු ලබන බදු මුදලට සමාන ලාභ ලබා ගැනීමට නොහැකිවී ඇති බවත්, ඒ අනුව එම සමාගම් එම දුරකථන කුළුණු භාවිතය 2019 වසරේ සිට අත්හැරීමට අධ්‍යක්ෂ මණ්ඩලවලට යෝජනා ඉදිරිපත් කර ඇති බව පැවසේ.

එම තත්ත්වය හේතුවෙන් අධ්‍යක්ෂ මණ්ඩල අණුමැතිය හිමිවුවහොත් එවැනි කුළුණුවල සේවාව ලබා ගැනීම අත්හැරීම නිසා මේවන විට රට පුරාම ඇති සංනිවේදන ජාලවල කඩා වැටීමක් සිදුවිය හැකි බවද පැවසේ.

කෙසේවුවද, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අයවැය යෝජනා ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම කටයුත්ත සිදු කරන්නේ ජංගම දුරකතන කුළුණු ව්‍යාපෘතිය අධෛර්යමත් පත් කිරීමට බවයි.