gossip lanka

2025 දක්වා මැතිවරණ නෑ.. 20 සංශෝධනයේ යටි අරමුණ මෙන්න..

පිවිතුරු හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

ජවිපෙත් එජාපයත් එක් වී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න විසි
වන සංශෝධනය ගේන්නේ 2025 දක්වා මැතිවරණ සිතියම හකුලා දැමීමේ යටි අරමුණෙන්.  අපි කොහොමද එහෙම කියන්නේ

පුංචි ඡන්දයේ ප්‍රතිඵල වලට ආණ්ඩුව තවම මුහුණ දෙනවා.  ශ්‍රිලනිපය අර්බූදයක් ඇති වෙලා 16 දෙනෙක් විපක්ෂයේ වාඩි වුණේ පුංචි ඡන්දයේ ප්‍රතිඵලයක් විධියට.  එජාප නායකයා එලවන කැරැල්ලක් ඇති වෙලා තිබෙන්නේ පුංචි ඡන්දයේ ප්‍රතිඵලයක් විධියට.  ඒ නිසා මේ ආණ්ඩුවට තදින්ම මැතිවරණ භීතිකාව තිබෙනවා.

ජවිපෙ සහයෙන් පළාත් සභා මැතිවරණ පනත වෙනස් කරලා කොට්ඨාශ ක්‍රමය හඳුන්වා දීලා සීමා නිර්ණය මත දාලා පළාත් සභා මැතිවරණය නම් දින නියමයකින් තොරව කල් දා ගත්තා. පුංචි ඡන්දයට කලෙත් ඔය දෙයමයි. සීමා නීර්ණය පෙන්වමින් අවුරුදු තුනක් කල් දැම්මා. අපි අධිකරණයට ගිය නිසා ඡන්දය තිබ්බා. හැබැයි පළාත් සභා මැතිවරණයට අධිකරණයට යන්ට විදිහක් නෑ. නීත්‍යානුකූලව පනතේ විධිවිධාන අනුවමයි කල් දමා තිබෙන්නේ. ඉදිරියේ දී  පාර්ලිමේන්තු මැතිවරණය ළං වන විට පාර්ලිමේන්තු කොට්ඨාශ වෙන් කරන්න සීමා නිර්ණය කොමිසමක් පත් කරලා එහි වාර්තාව එනතුරු පාර්ලිමේන්තු ඡන්දයත් කල් දාන්න ලෙහෙසියෙන්ම පුළුවන්.  එක පැත්තකින් පාර්ලිමේන්තු ඡන්දය කොට්ඨාශ ක්‍රමයට පැවැත්වීම ජනපති සිරිසේනගේ ඡන්ද පොරොන්දුවක්.  අනිත් පැත්තෙන් පළාත්පාලන සහ පළාත් සභා යන දෙකම කොට්ඨාශ ක්‍රමයට පවත්වද්දී පාර්ලිමේන්තු විතරක් සමානුපාතික ක්‍රමයට පැවැත්වීම තාර්කිකත් නෑ. ඒවැනි හේතු මැතිවරණය කල් දැමීමේදී ඔවුන්ට පෙන්වන්නට පුලුවන්.

තවත් මාස 17 කින් උදා වෙන 2019 ඔක්තෝම්බර් මාසයේ ජනාධිපතිවරණයක දී මුළු ලංකාවම එකම කොට්ඨාශයක් වෙනවා.  ඒ නිසා සීමා නිර්ණයට මුවා වෙලා කල් දාන්න බැරි එකම මැතිවරණය ජනපතිවරණයයි.  ජනපතිවරණය පැවැත්වීම නවත්වා ගත්තොත් 2025 වන තුරුම සීමා නිර්ණය පෙන්වමින් මැතිවරණ නොපවත්වා ඉන්න පුළුවන්.  අන්න එතකොට 2025 වන තුරු මේ ආණ්ඩුව පෙරලන්න බෑ කියා රාජිත ඇමතිතුමා නිතර කියන කතාව සැබෑ වෙනවා.

ජනාධිපතිවරණය කල් දාන්න ක්‍රමවේදයක් නැති නිසා තමයි ජනාධිපති ධූරය අහෝසි කරලා ජනාධිපතිවරණ පැවැත්වීමේ අවශ්‍යතාවය නැති කරගන්න උත්සහ කරන්නේ.  මේකෙන් ආණ්ඩුවට විතරක් නෙමෙයි ජවිපෙටත් වාසියක් තියෙනවා. ජනාධිපතිවරණය කියන්නේ ජවිපෙට තියෙන ලොකුම හිසරදයක්. ප්‍රාදේශීය සභා සිට පාර්ලිමේන්තු දක්වා තිබෙන සියළුම මැතිවරණ වලට ජවිපෙට තරග කර දිනන්න පුළුවන්. මොකද ජවිපෙට ඡන්දෙ දෙන ජනතාව දන්නවා මගේ ඡන්දය අහක යන්නේ නෑ. මගේ ඡන්දයෙන් නියෝජිතයෙක් පත්වෙනවා කියලා. නමුත් ජනපතිවරණයක් දිනන්නේ ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයින් විතරයි.

ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ හතරවන දේශපාලන බලවේගයයි. ඒ නිසා රටේ ජනතාව දන්නවා ජනාධිපතිවරණයකදී ජවිපෙට ඡන්දය දීලා වැඩක් නැති බව. මේ නිසා ජනාධිපතිවරණයකදී ජවිපෙ ඡන්ද බැංකුව සීග්‍රයෙන් කඩා වැටෙනවා. මෙන්න මේ නිසා තමයි ජවිපෙ ජනාධිපතිවරණ වලට ඉදිරිපත් වෙන්න හරි හොරයක් දක්වන්නේ.  ජනපතිවරණ ඉතිහාසයේ  ජවිපෙ තරග කලේ 1982 සහ 1999 ජනපතිවරණ විතරයි.  අනිත් අවස්ථා වල දී ප්‍රධාන පක්ෂයකට සහය දීලා ඇඟ බේරා ගන්නවා.  නමුත් ජනපතිවරණ පැවැත්වීම නතර වුණොත් මේ කරදරයෙන් සදහටම නිදහස් වෙන්න පුළුවන්.

ඒ නිසා විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරමු කියාල හදිසියේ මතක් වෙලා මේ විසි වෙනි සංශෝධනය ගේන්නේ එක පැත්තකින් ආණ්ඩුවේ මැතිවරණ භීතිකාවට බෙහෙතක් විදිහට. අනෙක් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණට තියෙන ලොකුම දේශපාලන හිසරදය වෙච්ච ජනාධිපතිවරණය සදහටම අහෝසි කරලා දාන්න.

– අරවින්ද අතුකෝරල