gossip lanka

අලි දෙන්නා පැන්නුවොත් ලෝක උරුම ලැයිස්තුවෙන් සිංහරාජය කැපේවි!

පිළිගත හැකි සාධාරණ හේතුවකින් තොරව සිංහරාජ වනයේ වෙසෙන අලි දෙදෙනාව අල්ලා ඉවත් කළහොත් එම වනය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

මේ පිළිබඳව අදහස් දැක්වීම සඳහා සමස්ත ලංකා බෞද්ධ සම්මේලන ශ්‍රවණාගාරයේදී ඊයේ (13දා) කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී "සුරකිමු ශ්‍රී ලංකා" සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර
හිමියන් පැවැසුවේ සිංහරාජ වැසි වනාන්තරය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ දැඩි අවදානමකට ලක්වී ඇති බවයි.

තෙත් කලාපීය පරිසර පද්ධතියක සිටින අවසන් අලි දෙදෙනා වන සිංහරාජයේ වෙසෙන මෙම අලි දෙදෙනාව ජීවත් වන එම පරිසර පද්ධතියෙන් බලහත්කාරයෙන් ඉවත් කිරීම ජාත්‍යන්තර පරිසර නීතිය උල්ලංඝනය කිරීමක් බවද උන්වහන්සේ සඳහන් කරති.

සිංහරාජයේ අලි දෙදෙනාව අල්ලා ඉවත් කරන ලෙස වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකාගෙන් ඉල්ලා ඇත්තේ දැව ජාවාරම්කරුවන් හා සතුන් දඩයම් කරන මස්වැද්දන් සහ නීති විරෝධී පතල් කර්මාන්තයේ නියැළෙන පිරිස සහ ඔවුන්ට සහාය පළකරන කණ්ඩායම් විසින් බව "සිංහරාජය සුරැකීමේ මිතුරු සංවිධානයේ" ශාලික කරුණාරත්න මහතා මාධ්‍ය හමුවේදී පැවැසීය.

සජීව චාමිකර, නයනක රන්වැල්ල, සශිකලන රත්වත්තේ, චාමර උදයංග යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

මේ සම්බන්ධව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු පැවැසුවේ සිංහරාජයේ වෙසෙන අලි දෙදෙනා අල්ලා ඉවත් කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කර ඇති බවයි.