gossip lanka

බැදුම්කරෙන් පගා ගත් 118 දෙනට දඬුවම් කල යුත්තේ ජනතාවයි..- රංගේ බණ්ඩාර

පර්පචුවෙල් ටෙ‍්‍රසරීස් සමාගමෙන් හෝ එම සමාගමේ හිමිකරුවන්ගෙන් හෝ මුදල් ලබා ගෙන ඇති පුද්ගලයින්ට නිසි දඩුවම් ලබා දීම ජනතාව වෙත පැවරෙන වගකීමක් බව වාරිමාර්ග හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පෙරේදා (02) ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු නියෝජිතයින් 118 දෙනෙකු මෙලෙස මුදල් ලබා ගෙන
ඇති බව මේ වන විට ප‍්‍රකාශයට පත්වී ඇති බවත් එම පුද්ගලයින් කවුරුන්දැයි නිල වශයෙන් ප‍්‍රකාශය පත් කිරීම කතානායකවරයාට පැවැරෙන වගකීමක් බවද රංගේ බණ්ඩාර මහතා අවධාරණය කළේය.

පුත්තලම දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශ 05 ක් සම්පූර්ණයෙන්ම ආවරණ වන පරිදි කි‍්‍රයාත්මක පානීය ජල යෝජනා ක‍්‍රමයේ වැඩ ආරම්භ කිරීමෙන් අනතුරුව ආණමඩුව ජල සම්පත් භූමියේදී පැවැති උත්සවයේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

සමස්ථ ව්‍යෘපෘතිය සඳහා වැය කරන සම්පූර්ණ මුදල රුපියල් මිලියන 8625 කි. ස්පාඤ්ඤ රජය මේ සඳහා අධාර ලබා දී තිබේ. ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කරන ලද අවස්ථාවට ස්පාඤ්ඤ රජයේ නියෝජිතයින්ද සහභාගී වී සිටියහ.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා මෙසේද කීය.

පර්පචුවෙල් ටෙ‍්‍රසරීස් සමාගමෙන් හෝ එම සමාගමේ හිමිකරුවන්ගෙන් මුදල් ලබාගත් අයගේ ලැයිස්තුව කඩිනමින් හෙළිදරව් කරන ලෙස මා කතානායක වරයාගෙන් ඉල්ලා සිටිනවා. එම පුද්ගලයින් ජනතා නියෝජිතයින් ලෙස කටයුතු කිරීම කිසිසේත්ම සුදුසු නැහැ. ඔවුන් පාර්ලිමේන්තුවට තියා ප‍්‍රාදේශීය සභාවකටවත් පත් කිරීමට ජනතාව පියවර නොගත යුතුයි. ඒ වගේම 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී මෙම පුද්ගලයින්ට නිසි පිළිතුරු ලබා දීම ජනතාවගේ වගකීමක්. පක්‍ෂ පාට භේදයකින් තොරව හොරු කවුද ඔවුන්ට කතිරයෙන් නිසි දඩුවම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


පුත්තලම දිස්ත‍්‍රික්කයේ ජනතාව නිරන්තරයෙන් පීඩාවට පත්වන පානීය ජල ගැටළුවට විසඳුම් ලබා දීමට හැකි විම පිළිබදව සතුටු වෙනවා. තවත් වසර 30 ක් දක්වා වූ ඉදිරි අනාගතයේ ජල අවශ්‍යතාවද සම්පූර්ණ කිරීමට හැකිවන පරිදි මෙම ව්‍යාපෘතිය සැලසුම් කර තිබෙනවා. මේ යටතේ සෘජුවම එක්ලක්ෂ විසි දහසක් තරම්වූ ජනගහනයකට පානීය ජලය ලබා දීමට නියමිතයි. ආණමඩුව, නවගත්තේගම, මහකුඹුක්කඩවල, මුන්දලම හා පුත්තලම යන ප‍්‍රාදේශිය ලේකම් බලප‍්‍රදේශ සියල්ල ආවරණ වන පරිදි පානීය ජලය සැපයීමට මෙමගින් සැලසුම් කර තිබෙනවා. වයඹ පළාතට අයත් කොටවෙහෙර හා ගල්ගමුව යන ප‍්‍රදේශ වෙතද මෙම ව්‍යාපෘතිය යටතේ ජලය ලබා දිය හැකියි.

මෙම ව්‍යාපෘතිය යටතේ ඉගිනිමිටිය වැවට පහළින් වූ ප‍්‍රදේශයේ පොකුණක් ඉදිකිරීමට නියමිතයි. ජල පිරිපහදුව ඉදිකිරීමට සැලසුම් කර ඇත්තේද එම ස්ථානයේයී. ව්‍යාපෘතියට අදාලව තවත් ඇල මාර්ග කිහිපයක්ම ඉදිකිරීමට නියමිතයි. ඉගිනිමිටියේ සිට දිවෙන ජලය බෙදා හරින නල පද්ධතිය කිලෝමීටර් 400 ක් තරම් දීර්ඝ එකක්.

යෝජිත නව ජල යෝජනා ක‍්‍රමය යටතේ ස්ථාන හතරක ප‍්‍රධාන ජල ටැංකි හතරක් ස්ථාපිත කෙරෙනවා. මහකුඹුක්කඩවල තරුණ ව්‍යාපාරයේ පළමු ජල ටැංකිය ස්ථාපිත කිරීමට නියමිතයි. දෙවැන්න ආණමඩුව ගම්උදා භූමියේද තෙවැන්න මුල්ලේගම ප‍්‍රදේශයේද ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. සිව්වැනි ජල ටැංකිය ඉදිවන්නේ ඔලගන්විල්ලූව ප‍්‍රදේශයේයී. 2020 වසරේදී සියළු ඉදිකිරීම් නිමා කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන්නේ ජාතික ජල සම්පාදන මණ්ඩලයයි. ගම් වටකළ පවස නිවන දිය උල්පත යන තේමාව යටතේ මෙම ජල ව්‍යාපෘතිය නම්කර තිබෙනවා.

ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඇතුළු කීප දෙනෙක්ම මෙහිදී කතා කලහ.

– ජයකාන්ත ලියනගේ