gossip lanka

ETI හා UB ෆිනෑන්ස් තැන්පත්කරුවන් විරෝධතාවයක

ඊ.ටී.අයි ෆිනෑන්ස් හා යූ.බී. ෆිනෑන්ස් යන ආයතනවල තැන්පත්කරුවන් පිරිසක් ඊයේ (05) බත්තරමුල්ල දියත උද්‍යානය අසලදී විරෝධතාවයක නිරත වුණි.

ඒ ආයතනවල තැම්පත් කළ ඇති තම තැන්පතු මුදල් කඩිනමින් නැවත
ලබාදෙන්නැයි බල කරමින්ය.

ඊ.ටී.අයි ආයතනයේ ඇති තම තැන්පත් මුදල් කඩිනමින් නැවත ලැබෙන්නැයි එහි තැන්පත්කරුවන් කලක සිට ඉල්ලීම් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස තැන්පත් මුදලින් සියයට 10 ක ප්‍රමාණයක් ඊයේ  දිනයේදී ඔවුන්ට ලබාදෙන බවට එහි කළමනාකාරිත්වය මීට පෙර දැනුම් දී තිබුණි.

ඒ අනුව අදාළ තැන්පත්කරුවන් ඊයේ පෙරවරුවේ කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි එම ආයතනයේ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණියේ තම තැනපත් මුදලින් සියයට 10 ප්‍රමාණය ලබාගැනීම සඳහාය.

එම අවස්ථාවේදි ඊ.ටී.අයි ප්‍රධාන කාර්යාලයේ දැඩි තදබයක් පැවති අතර පසුව එම තැන්පත්කරුවන් බත්තරමුල්ල දියත උද්‍යානය අසලට පැමිණියේ සිය තැන්පතුවලින් ඉතිරි මුදල් කඩිනමින් ලබා දෙන ලෙසට බල කෙරෙන විරෝධතාවය පැවැත්වීම සඳහායි.

මේ අතර යූ.බී. ෆිනෑන්ස් ආයතනයේ තැන්පත්කරුවන් පිරිසක්ද ඒ අවස්ථාව වනවිට බත්තරමුල්ල දියත උද්‍යානය ඉදිරිපිට විරෝධතාවයක් සංවිධාන කර තිබුනේ තමන් තැන්පත් කළ මුදල් වහා යළි ලබාදෙන ලෙස බල කරමින්ය.

පසුව ඊ.ටී.අයි. තැන්පත්කරුවන් හා යූ.බී. ෆිනෑන්ස් ආයතනයේ තැන්පත්කරුවන් ඒකාබද්ධව විරෝධතාවයේ නිරත වූ අතර ඔවුන් පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට උත්සහ දැරීමේදි පොලීසිය විසින් ඊට බාධා කළේය.

ඒ වනවිට පොලිස් ජල ප්‍රහාරක රථද එහි ස්ථාන ගත කර තිබු අයුරු දක්නට ලැබුනු බව වාර්තා වේ.

පසුව විරෝධතාකරුවන් පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය අසල රැදී සිටිමින් සිය විරෝධතාවය ආරම්භ කළ බවත් වාර්තා වන අතර විරෝධතාවය පැවැත්වෙන අතරතුරදී පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වීමට පැමිණෙමින් සිට දයාසිරි ජයසේකර හා සුනිල් හදුන්නෙත්ති යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ද එම ස්ථානයට පැමිණ විරෝධතාකරුවන් හමුවුණි.

පසුව පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරතවූ පිරිස් පසුව විසිර ගියේය.