gossip lanka

රාජගිරියේ "හොල්මන් බිල්ඩිම" මේ වන විට කෝටි 100කට වැඩිය ගිලලා

මසකට රුපියල් කෝටි දෙකහමාරක කුලී පදනමක්‌ මත රාජගිරියේ පිහිටා ඇති ගොඩනැඟිල්ලක පවත්වාගෙන යන කෘෂිකර්ම අමාත්‍යාංශය ළඟදීම එ් ස්‌ථානෙන් ඉවත් කර යළි බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරයට ගෙන යැමට කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර තීරණය කර තිබෙනවා.

 තවදුරටත් සිදුවන විශාල මුදල් නාස්‌තිය වළක්‌වා ගැනීමේ අරමුණ ඇතිව නැවත ගොවිජන මන්දිරය
ලබා දෙන ලෙස ඉල්ලා මහින්ද අමරවීර ඇමැතිවරයා කථානායක කරු ජයසූරියට ලිඛිතව දැනුම් දී ඇති බවත් ඒ සඳහා කථානායකවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක්‌ ලැබී ඇති බවත් අමාත්‍යාංශ නිලධාරියෙක්‌ පවසනවා.

මේ වනවිට රුපියල් කෝටි දහයක්‌ වැය කරමින් ගොවිජන මන්දිරය අලුත්වැඩියා කරන බවත් තව නොබෝ දිනකින් එම ගොඩනැඟිල්ලට යැමට හැකි වෙන බවත් එම නිලධාරියා සඳහන් කළා.

වසර පහක කුලී පදනම මත රාජගිරියේ පිහිටි අමාත්‍යාංශ ගොඩනැඟිල්ලට කුලිය වශයෙන් රුපියල් කෝටි පනහකට වැඩි මුදලක්‌ ගෙවා ඇති බවත් එයට සේවා ගාස්‌තුවක්‌ද ඇතුළත් බවත් ඔහු කියා සිටියා. මසකට රුපියල් හැටඑක්‌ ලක්‌ෂ දහඅට දහස බැගින් මේ වනවිට කෝටි 14 කට අධික මුදලක්‌ සේවා ගාස්‌තු වශයෙන් ගෙවා ඇතැයිද කී එම නිලධාරියා මේ සියලු ගෙවීම් වලට අමතරව ගොඩනැඟිල්ල විවිධ අංශවලට බෙදා වෙන් කිරීම සඳහා රුපියල් කෝටි හතළිහක්‌ද, ශබ්ද විකාශන යන්ත්‍ර පද්ධතියක්‌ සඳහා රුපියල් ලක්‌ෂ පනහක්‌ ද, අමාත්‍යාංශයේ ගෘහ භාණ්‌ඩ සඳහා කෝටි පනහක පමණ මුදලක්‌ද රජය වැය කර ඇති බව අමාත්‍යවරයා විසින් කළ සමීක්‌ෂණයේදී හෙළිවී ඇති බවද කියා සිටියා.

මේ වනවිට මේ ගොඩනැඟිල්ලේ ගිවිසුම් හා කුලී ගෙවීම් පිළිබඳව නීතිපතිවරයාගේ නිරීක්‌ෂණයට ලක්‌වී ඇති බවත් ගොඩනැඟිල්ල ගැනීමේ දී තාක්‌ෂණ නිලධාරියාගේ වාර්තාවේ සේවා ගාස්‌තු අය කර ගැනීම සඳහන් කර නොමැතිව තිබියදී ඊට පිටින් රජයේ ආයතනයක්‌ පවත්වාගෙන යැමේදී එම ගොඩනැඟිල්ල සඳහා සේවා ගාස්‌තුවක්‌ ගෙවා තිබීම පිළිබඳව වත්මන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් පී. විඡේරත්න විමසීමට ලක්‌ කර ඇතැයිද අමාත්‍යාංශ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.