gossip lanka

TNL : ජනාධිපති ගත් ක්‍රියාමාර්ගය එජාපයේ විවේචනයට

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ටී.එන්.එල් නාලිකාව පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය සම්බන්ධයෙන් කටයුතු කළ අකාරය වැරදි බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06) පැවසීය.

වඳුරා කඬුව ගත්තාක් මෙන් හෝ නින්දෙන් අවදි වූවාක් මෙන් කටයුතු කිරීම විදුලි සංදේශ නියාමන
කොමිසන් සභාවට නොගැළපෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මාධ්‍යවලට අඩත්තේට්ටම් කිරීම රජය අනුමත කරන්නේ නැතැයිද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම විදුලි සංදේශ කොමිෂන් සභාව පසුගිය කාලයේ සංඛ්‍යාත ලබාදීමේදී මහජන අයිතීන් උල්ලංඝනය කර ඇතැයි කී ආශු මාරසිංහ මහතා ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවද කීවේය.

ජනාධිපතිවරයා යටතේ පවතින විදුලි සංදේශ කොමිෂන් සභාවේ සභාපතිවරයා වන්නේ ජනාධිපති ලේකම්වරයාය.

ටී.එන්.එල් නාලිකාව එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සොයුරු ශාන් වික්‍රමසිංහ මහතාට අයත්වුවකි. එම නාලිකාව පසුගිය දින කිහිපයෙහි ජනාධිපතිවරයා ඉලක්ක කර ගනිමින් දැඩි ප්‍රහාරයක් එල්ලකර තිබිණ.

පොල්ගහවෙල කිසිදු අවසරයක් ගෙන නැහැ - TRC 

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදුලි සංදේශ නියාමන කොමිසමේ (TRC ) අධ්‍යක්ෂ ජනරාල් පී.ආර්.එස්.පී. ජයතිලක මහතා සඳහන් කරන්නේ TNL ආයතනය සිය විකාශන මධ්‍යස්ථාන වන කොළඹ, නුවරඑළිය, කරගහතැන්න, පිළියන්දල, අවිසාවේල්ල, බදුල්ල, ගොන්ගල, හන්තාන හා රත්නපුර යන ස්ථාන සඳහා නියමිත ගාස්තු ගෙවා බලපත්‍ර ලබා ගෙන තිබුණත් පොල්ගහවෙල VHF 11සහ VHF 03 භාවිතා කිරීම සඳහා කිසිදු අවසරයක් ගෙන නොමැති බවයි.

ඒ අනුව TNL ආයතනය පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය මගින් විදුලි සංදේශ පනතේ අංක 22 වගන්තිය උල්ලංඝනය වන පරිදි හා අනෙකුත් බලපත්‍ර ලබා දී ඇති රජයේ විකාශනයන්ට බාධා වන පරිදි වරින් වර දීර්ඝ කාලයක් තිස්සේ භාවිතා කර ඇති බව ජයතිලක මහතා පෙන්වා දෙයි.

මෙම නීති විරෝධී විකාශනය නවත්වන ලෙස 2016.04.27 දින ලිපියෙන් TNL ආයතනයට දැනුම් දී ඇති අතර එම නියෝගය නොසලකා හරිමින් දිගින් දිගටම විකාශන කටයුතු සිදුකර ඇති බව ඔහු ප්‍රකාශ කරයි.

මෙය 1996 අංක 27 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධිත) පනතින් සංශෝධිත 1991 අංක 25 දරන පනත උල්ලංඝනය කරමින් නීතිය නොසලකා හැර කටයුතු කිරීම හේතුවෙන් උක්ත ක්‍රියාමාර්ගය ගැනීමට සිදුවූවා මිස එම ක්‍රියාදාමය තුළ වෙනත් කිසිදු අරමුණක් නොමැති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.