gossip lanka

නියෝජ්‍ය කතානායක සටන : 16 කණ්ඩායමේ සුදර්ශනිට එජාපය එරෙහිවේ

පසුගිය විශ්වාස භංග යෝජනාවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිවූ ශ්‍රීලනිප 16 කණ්ඩායමේ කවරෙකු හෝ නියෝජ්‍ය කතානායක ලෙස යෝජනා වුවහොත් ඊට එරෙහිව වෙනත් අයකු යෝජනා කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

තිලංග සුමතිපාල මහතාගේ ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලනිප
කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රි අංගජන් රාමනාදන් මහතාගේ නම යෝජනා කර තිබු අතර එක්සත් ජාතික පක්ෂ නායකත්වය ද ඊට එකඟත්වය පළකර තිබිණ.

කෙසේවුවද දෙමල ජාතික සන්ධානය ඊට දැඩි විරෝධයක් පළකර තිබු හෙයින් එජාපයේ අයකු එම තනතුරට පත්කර ගන්න ලෙස ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාට දැනුම්දී තිබිණ.

ඒකාබද්ධයේ යෝජනාවක් :

නමුත් පුරප්පාඩු වී ඇති පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය නම් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇති  අතර එවැනි තත්වයක් යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතා එජාපයෙන් ඉදිරිපත් කිරීමට එම පක්ෂය තීරණය කර තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය හිමි වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ආනන්ද කුමාරසිරි මහතාටද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියටද? යන්න පිළිබඳ මේ වනවිට දේශපාලන ක්‍ෂේත්‍රයේ ප්‍රබල ලෙස සාකච්ඡා වෙමින් පවතී.

ජනපතිගේ සහය සුදර්ශනිට !

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට 16 දෙනාගේ කණ්ඩායමේද එකඟත්වය හිමිව තිබෙන අතර, මේ ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (02දා) රාත්‍රි පැවැති සාකච්ඡාවකදී කතා බහ වී ඇත.

ඒකාබද්ධ විපක්ෂයේදී සහයෝගයෙන් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා යෝජනා කිරීම පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද මෙහිදී සිය එකඟත්වය පළ කළ බව 16 දෙනාගේ කණ්ඩායමේ නියෝජිතයෙක් ප්‍රකාශ කළේය.

මේ අනුව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා සුදර්ශනී පුනාන්දුපුල්ලේ මහත්මියගේ නම එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් කථානායක කරු ජයසූරිය මහතාට දැනුම් දීමට පියවර ගන්නා බවද එම නියෝජිතයා සඳහන් කෙළේය.

රහස් ඡන්දයක් !

මෙම නම යෝජනා කිරීමේදී වෙනත් නමක් යෝජනා වුවහොත් නියෝජ්‍ය කථානායක ධුරයට තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක් ඉල්ලා සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ ජේ‍යෂ්ඨ නියෝජිතයෙක් ප්‍රකාශ කළේය.

ජුනි 05දා පාර්ලිමේන්තුව රැස්වූ පසුව නියෝජ්‍ය කථානායක ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද කුමාරසිරි මහතාගේ නම යෝජනා කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙන බව පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේය.