gossip lanka

බැඳුම්කර සමාගමෙන් නීතිඥ සංගමයටත් ලක්ෂ 25ක් !

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ මහා පරිමාණ මූල්‍ය වංචාවක් කළ බවට චෝදනා එල්ල වී ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයටද රුපියල් ලක්ෂ 25 ක මුදලක් (මිලියන 2.5ක්) ලබාගෙන තිබේ.

2016 අගෝස්තු මාසයේ 12 වැනි දා සිට15 වෙනිදා දක්වා මෙරට පැවති ලෝ ඒෂියා ශ්‍රී ලංකා ගෝල්ඩන් ජුබිලි සම්මේලනය (Low Asia Sri Lanka Golden Jubilee Conference) වෙනුවෙන් මෙම මුදල ලබාගෙන ඇතැයි, නීතිඥ සංගමය 2017 දී විධායක සභාවට ඉදිරිපත් කළ ලෝ ඒෂියා ගෝල්ඩන් ජුබිලි සම්මේලනයේ ආදායම් වියදම් ගිණුම් වාර්තාවේ පැහැදිළිව සඳහන් වේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම මුදල් ලබාගෙන්නා වකවානුවේදී එම සංගමයේ සභාපති ධූරය දරා ඇත්තේ ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් මහතාය.

එහෙත් ලෝ ඒෂියා ගෝල්ඩන් ජුබිලි සංවත්සරික සම්මේලනයේ සියලු සංවිධායක කටයුතු කරට ගෙන සිදුකර ඇත්තේ එහි සංවිධායක කමිටුවේ  සභාපති එවකට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති උපුල් ජයසූරිය මහතාය.

 ජනාධිපති නීතිඥ ප්‍රසන්න ජයවර්ධන !

එමෙන්ම මෙම සංවිධාන කමිටුවේ මුදල් උප කමිටුවේ ප්‍රධානියෙකු ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු උප සභාපතිවරයෙකු සහ පසුව ශ්‍රී ලංකා ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු වූ ජනාධිපති නීතිඥ ප්‍රසන්න ජයවර්ධන මහතාද විය.
ඒ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වීමත් සමග එම තනතුරින් ඉවත් වන මුත් මෙහි ඇති විශේෂත්වය පසුකාලීනව බැඳුම්කර නිකුතුව සම්බන්ධ ජනාධිපති විමර්ෂන කොමිසමේද සාමාජිකයෙකු ලෙස ඔහු කටයුතු කිරීමය.

ලෝ ඒෂියා ගෝල්ඩන් ජුබිලි උළෙලේ සමාරම්භක උත්සවය අනුග්‍රහ සඳහාද පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් ලක්ෂ 25 ක් ලබාදී ඇති අතර ඊට අමතරව මොබිටල් ඩිමෝ වැනි ආයතනද මුදල් ලබා දී ඇත. මෙහි ප්‍රධාන ආරාධිතයන් වී ඇත්තේ අගමැති වරයා සහ ජනාධිපතිවරයාය.

අප මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වර්තමාන සභාපති යූ.ආර්.ද සිල්වා මහතා ගෙන් විමසීමට උත්සාහ කළත් ඔහු විදේශගත වී සිටියේය.

එවැන්නක් පිළිබඳව තමන් දැනුවත් වී නොමැති වුවත් ඒ සම්බන්ධයෙන් සොයා බලා ඉදිරියේදී කරුණු ඉදිරිපත් කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වර්තමාන ලේකම් කෞශල්‍ය නවරත්න මහතා මේ සම්බන්ධයෙන් කල විමසීමකදී කියා සිටියේය.

(රාවය)