gossip lanka

එල්ලන්න ගියොත් ඉල්ලගත්ත GSP + නැතිවෙයි ?

වත්මන් රජය විසින් මරණ දණ්ඩණය ක්‍රියාත්මක කළ හොත් එමගින් GSP + සහනය සඳහා දැඩි ලෙස බලපෑමක් ඇතිවිය හැකි බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

මරණීය දණ්ඩනය ලබාදීම සඳහා නීති සම්පාදනය කර තිබුණද, වසර 1976 සිට අද වන තෙක් වසර
40ක් පුරාවට පැවති ආණ්ඩු විසින් මෙම නීති ක්‍රියාත්මක කර නොතිබුණි.

අපරාධ වල අඩුවක් නෑ

යුරෝපා සංගමය යනු මරණීය දණ්ඩනය මෙලොවින් පිටුදැකීම සඳහා ප්‍රමුඛස්ථානය ගෙන කටයුතු කරන ගෝලීය එකතුව වන අතර, මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ නීතිරිති පැවතුනද එය ක්‍රියාත්මක නොකරන බවට GSP + සහන ලබාගැනීමේදී මෙරට බලධාරීන් අවධාරණය කර තිබුණි.

මරණීය දණ්ඩනය යනු මිනිසත් බව පහතට ඇද දමන අමානුෂික හා අනවශ්‍ය ක්‍රියාවක් බවත් යුරෝපා සංගමය පෙන්වා දෙයි. අපරාධ මැඩලීමේදී වෙනත් දඬුවම් වලට වඩා මරණීය දණ්ඩනය වඩාත් ඵලදායී බව කිසිඳු විද්‍යාත්මක සාධක ඉදිරිපත් වී නැති බවද යුරෝපා සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

කෙතරම් උසස් මට්ටමේ පවතින අධිකරණ ක්‍රියාදාමයක් තිබුණද, නීතිය අනිසි අයුරින් ක්‍රියාත්මක වීමේ හැකියාවක් පවතින බවත්, එමගින් රජයේ නිලධාරීන් අතින් අහිංසක පුද්ගලයෙකු හිතාමතම ඝාතනයට ලක්කිරීමක් සිදුවිය හැකි බවද යුරෝපා සංගමය පෙන්වා දෙයි.

මේ අතර, දේශපාලන විශේෂඥයන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළහොත් එය අනාගතයේදී බලය අනිසි ලෙස භාවිතා කරන්නන් හට සිය පටු වාසි ඉටුකරගැනීම සඳහා ඉඩකඩ ලබාදෙන මුලපිරීමක් විය හැකි බවයි.

මංගල විරුද්ධයි !

මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය නතර කිරීම සඳහා මරණ දඬුවම යළි ක්‍රියාත්මක කල යුතු බවට ජනාධිපතිවරයා විසින් ඊයේ (10) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කල යෝජනාවට ඇමතිවරැන් රැසක් සහය පළ කර ඇති නමුත් තමා එයට ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා එහිදී පවසා තිබුණි.