gossip lanka

හමුදාව දුර්වල කරන චක්‍රලේඛ තුනක්….

ත්‍රස්තවාදයට අනුබල දෙමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ විජයකලා මහේෂ්වරන්ගේ රාජ්‍ය අමාත්‍ය ධුරය ඉවත් කිරීම ප්‍රමාණවත් නොවන බවත් ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය ඉවත් කළ යුතු බවත් කළුතර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර පැවැසීය.

ඔහු එසේ පැවැසුවේ ඊයේ (5දා) ජාතික නිදහස් පෙරමුණ
පිටකෝට්ටේ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදීය. එහිදී ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.

යුද හමුදාවේ පිරිස් බලය අඩු කිරීම සඳහා ‘යුද්ධ හමුදාව තුළ ක්‍රියාත්මක සංස්ථා යථායෝග්‍ය ප්‍රමාණකරණය’ යනුවෙන් 2018 ජුනි 14 වනිදා මේජර් ජෙනරාල් පී.ඩී.අයි. කරුණාරත්න නිකුත් කළ හමුදා නියෝගය ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය. ඒ යටතේ හමුදාවේ බළ ඇණි 33ක්, නිලධාරීන් 938ක් සහ සෙසු නිලයන් 23,264ක් අඩු වෙනවා. ඒ සමඟම නන්දිකඩාල්, පුදුකුඩිඉරිප්පු ඇතුළු උතුරේ මර්මස්ථානවල තිබෙන හමුදා කඳවුරු 100කට වැඩි සංඛ්‍යාවක් ද ඉවත් කෙරෙනවා.

එසේ කරන වත්මන් ආණ්ඩුව ඉන් නොනැවතී තවදුරටත් හමුදා බළඇණි, ක¼දවුරු, නිලධාරීන් ඉවත් කරමින් බෙදුම්වාදී කොටි ත්‍රස්ත හිතවාදී පිරිස් සතුටු කරමින් සිටිනවා. රජය නිකුත් කර ඇති තවත් චක්‍රලේඛ 3කින් ඒ පිළිබඳ තහවුරු වෙනවා.

පසුගිය 2016 ජුනි 29දා මේජර් ජෙනරාල් එන්.ජේ. වල්ගම නිකුත් කොට තිබෙන ‘නිවාඩු නොලබා නොපැමිණීම’ නමැති නියෝගය යටතේ හමුදාවේ නිලධාරීන් හා සෙසු නිලයන් විශ්‍රාම ගැන්වීමේ කටයුත්තක් ක්‍රියාත්මක වෙනවා. දින 14කට වඩා නිවාඩු ලබා ගැනීම හේතුකොට ගෙන ඔහු හමුදාවෙන් විශ්‍රාම ගැන්වීමට කටයුතු කෙරෙනවා. ඔවුන්ගේ සේවා කාලය වසර 10ට අඩු නම් විශ්‍රාම වැටුපක්වත් ලැබෙන්නෙ නැහැ. මේ යටතේ බුද්ධි අංශ නිලධාරීන් 100කට වැඩි සංඛ්‍යාවකුත් විශ්‍රාම ගැන්වීමට නියමිතයි.

තවත් චක්‍රලේඛයක් 2016 ජූලි 13 නිකුත් කළ චක්‍රලේඛයක් අනුව නිලධාරීන්ගේ වයස අවුරුදු 45ට සීමා කර තිබෙනවා. නිලධාරියකු බඳවා ගෙන වසර 20ක් ගත වූ පසුවයි අණදෙන නිලධාරි තනතුරක් ලැබෙන්නෙ. හැබැයි අණදෙන නිලධාරි තනතුරක් ලබා ගැනීමේ වයස අවුරුදු 45 කරපු අණදෙන නිලධාරි තනතුරක් ලබා ගන්න නොහැකි වුණොත් ඉහළ තනතුරක් ඔහුට ලබා ගත යුතුයි. මේ චක්‍රලේඛය නිසා යුද්ධ කළ මේජර්වරයාට ඉහළ තනතුරක් ලබා ගැනීමට නොහැකි වීමෙන් ඔවුන්ට හමුදාව එපා වෙනවා.

2016 ජූලි 13 නිකුත් කළ තවත් චක්‍රලේඛයකින් නිලධාරීන්ගේ පෙර වැරැදි අනුව දඬුවම් කරනවා. එකම වරදකට දෙවරක් දඬුවම් කරනවා. මේ නිසා හමුදාවේ නිලධාරීන් සිය ගණනකට විශ්‍රාම යන්න සිදු වෙනවා. ඒ ආකාරයට ත්‍රස්තවාදය පරාජය කිරීමට ජීවිත පූජාවෙන් කැපවුණු හමුදා විරුවන් දුර්මුඛ කොට ප්‍රදර්ශන භාණ්ඩයන් බවට පත් කරනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 1/30 යෝජනාවේ 8 වැනි වගන්තිය අනුව ත්‍රිවිධ හමුදාව පරිපාලන තීන්දු ගෙන දුර්වල කිරීම තමයි මේ සිදු කරන්නෙ. මංගල සමරවීර විදේශ ඇමැති ලෙස එම යෝජනාවට සම අනුග්‍රහය දක්වන්න පොරොන්දු වුණා.

කොටි ශක්තිමත් කිරීමකින් තොරව දෙමළ ජනතාවට විමුක්තිය නොලැබෙන නිසා කොටි ශක්තිමත් කළ යුතු බව විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිවරිය කිව්වා. ඒක හිතේ අමාරුවට කිව්ව දෙයක් නෙවෙයි. එකම වුවමනාවක විවිධ මුහුණුවර තමයි එසේ ප්‍රකාශ වෙන්නෙ. විග්නේශ්වරන් ජනසංහාර සති සමරනවා. තවත් පැත්තකින් එම්.කේ. ශිවාජිලිංගම් මන්ත්‍රිවරයා පාසල් ළමයින් එක්ක ගිහින් සයිනයිඩ් කාලා මිය ගිය පළමු කොටි සාමාජිකයා සමරනවා. තවත් පැත්තකින් ක්ලේමෝ බෝම්බ හමුවෙනවා. අනුර කුමාරලා 20 වැනි සංශෝධනය ගේනවා. රනිල් – සිරිසේන යුගලය බෙදුම්වාදී ව්‍යවස්ථාවක් ගේන්න හදනවා. විජයකලා මහේෂ්වරන් බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය පෝෂණය කරන්න සැලැසුම් සහගතව කැප වී සිටිනවා. කොටි ප්‍රවර්ධනය කිරීමේ වරදට දඬුවම් කොට ඇය සිපිරිගෙට යැවිය යුතුයි. මේ රටේ උපරිමාධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකීවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.