gossip lanka

මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට මංගල එරෙහිවේ !

කුඩු ව්‍යාප්තිය නතර කිරීම සඳහා මරණ දඬුවම යළි ක්‍රියාත්මක කල යුතු බවට ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කල යෝජනාවට අමාත්‍ය මංගල සමරවීර මහතා සිය විරෝධය පළකර ඇත.

එම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ බහුතරයක් සාමාජිකයින් අත්පොලසන් දෙමින් ප්‍රතිචාර පළකරද්දී අමාත්‍ය මංගල සමරවීර මහතා
නිහඬව සිටිනු දුටු ජනාධිපතිවරයා, '' මංගල ඇමතිතුමා විතරක් එකට විරුද්ධ වගේ '' යයි පවසා ඇත.

එහිදී අදහස් දක්වා ඇති අමාත්‍යවරයා, ''ඔව් මරණ දඬුවම අයෙත් ගෙනාවට මම ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධයි. එත් කුඩු ගෙන්වන බෙදාහරින අයට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලබාදෙන්න ඕන... '' යයි සඳහන් කර තිබේ.

ඊයේ (10) පැවති අමාත්‍ය මණ්ඩල හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසුයේ, මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ඒකමතික අවධානය යොමුව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම පිළිබඳ තමා ජනාධිපතිවරයාට ස්තූතිවන්ත වන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ඉතිහාසයේ පළමුවරට මෙවැනි යෝජනාවක් සඳහා කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරු සියලු දෙනාගේ සහයෝගය ලැබුණ බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

මත් කුඩු ගෙනෙමින් බන්ධනාගාරයේ සිටම රට විනාශ කරන පුද්ගලයින් කෙසේ හෝ නැති කළ යුතු බවත් එයට කැබිනට් මණ්ඩලයේම සහයෝගය හිමිවීම විශේෂත්වයක් බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.