gossip lanka

ඇලෝසියස්ගෙන් රවීට මිලියන 5ක්! බැඳුම්කර විමර්ශන සමයේ සිදුවූ දේ එළියට!

මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිසමේ විමර්ශන පැවැති කාලසීමාව තුළ හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතාට අයත් ‘ග්ලෝබල් ට්‍රාන්ස්පොර්ටේෂන්’ නමැති සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරි සින්නයියා නමැති පුද්ගලයකුට ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම විසින් රුපියල් මිලියන 5ක මුදලක් ලබාදී ඇති බව නීතිපතිවරයා නියෝජනය කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි
අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ඊයේ (05) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එලෙස දැනුම් දුන්නේ නීත්‍යනුකූල නොවන බැඳුම්කර ගනුදෙනු සිදුකර රජයට මූල්‍යමය පාඩු සිදුකිරීම ඇතුළු අපරාධ වැරැදි සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට එරෙහිව පවරා ඇති නඩුව යළි කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ නඩුව කැඳවනු ලැබිණි.

2017 වසරේදී අදාළ මුදල ලබාදී ඇති බවද, එකී මුදල ලබාදී ඇත්තේ ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ බැංකු කටයුතු සිදුකිරීම සඳහා සර්ටිස් ලංකා සමාගම විසින් පත්කර තිබුණු නියෝජිතයකු වන සුසිල් ඇන්ඩර්සන් පෙරේරා නමැති අයකු මඟින් බවද අධිකරණය හමුවේ ප්‍රකාශ කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම විසින් නිකුත් කරන ලද මිලියන 5ක් වටිනා කෑෂ් චෙක්පත කොටහේන ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවකින් මාරුකර අදාළ මුදල ලබාදී ඇති බවද ප්‍රකාශ කළේය.

ඊට අමතරව සුසිල් ඇන්ඩර්සන් පෙරේරා යන පුද්ගලයා විසින් මිලියන 10.3කට වැඩි චෙක්පත් මාරුකර පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු ලෙස සැලකෙන අර්ජුන් ඇලෝසියස්ට මුදල් ලෙස භාරදී ඇති බවද අතිරේක සොලිසිටර් ජනරාල් කෝදාගොඩ මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම විසින් විවිධ පාර්ශ්වයන්ට ලබාදීම සඳහා නිකුත් කර ඇති චෙක්පත් පළමුව සුසිල් ඇන්ඩර්සන් පෙරේරා යන අයගේ නමට නිකුත් කර ඇති බවද, මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිසමේ විමර්ශනයන් ආරම්භ කිරීමෙන් පසු සුසිල් ඇන්ඩර්සන් පෙරේරා යන අය විසින් තම නමට චෙක්පත් නිකුත් කිරීම පිළිබඳ විරෝධතාව දැක්වීම මත පසුව මෙන්ඩිස් සමාගම විසින් ඔහු නමට නිකුත් කරන ලද චෙක්පත් කෑෂ් චෙක්පත් ලෙස නිකුත් කර ඇති බවද, අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

සුසිල් ඇන්ඩර්සන් පෙරේරා යන අය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශ සහ සාක්ෂි මඟින් එය අනාවරණය වූ බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.