gossip lanka

සුජීවට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් !

සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයකු යැයි පවසමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ මහතා පෙරේදා (06දා) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ගොනු කළේය.

බැඳුම්කරයේ ඇත්ත නැත්ත පිළිබඳ පොතක් ලිවීම, කෝප් වාර්තා ප්‍රසිද්ධ
කිරීම වැළැක්වීමට වාරණ නියෝග ගැනීම, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් මුදල් ලබා ගැනීම හා අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකථන සංවාදවල යෙදීම යන කරුණු මුල්කරගෙන මන්ත්‍රිවරයා මෙම පැමිණිල්ල ගොනු කොට ඇත.

පැමිණිල්ල භාරදීමෙන් පසු ෂෙහාන් සේමසිංහ මන්ත්‍රිවරයා මාධ්‍යට මෙසේද කීය.

''බැඳුම්කර වංචාව වංචාවක් නොවන බවට පොත් ලිවීම, මිලියන ගණන් මුදල් ගැනීම, දුරකථන මඟින් සංවාද පැවැත්වීම කියන කරුණු මත සුජීව ඇමැතිවරයා මේ වෙනකොට අත්අඩංගුවට ගන්න ඕන. මොකද රවි කරුණානායකලත් කරල තිබ්බෙ මේ ටිකම තමයි.

ඩිව් ගුණසේකර කෝප් කමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත් කරන්න හදපුවහම ඒක ප්‍රසිද්ධියට පත් කරන්න බැරි වෙන ලෙස උසාවියෙන් වාරණ නියෝගය ගැනීම තුළත් අදාළ පර්පචුවල් සමාගම සමඟ ඔහු ඉතාමත් ළඟ සම්බන්ධයක් ඇති බවත් මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ බවත් එළි වෙනවා. මේ ක්‍රියා සදාචාර සම්පන්න නැහැ.

සුජීව සේනසිංහ අමාත්‍යවරයාගේ වත්කම් පිළිබඳවත් පරීක්ෂා කරන්න ඕන.

අනෙක් කාරණය තමයි, වේලුකුමාර් මන්ත්‍රිවරයා කෝප් කමිටුවෙන් ඉවත් කරලා සුජීව එම කමිටුවට ආවා. මේ හැම එකකින්ම තේරෙන්නේ බැඳුම්කර වංචාවට සුජීව සම්බන්ධ බවයි.

අනෙක් කාරණය තමයි අර්ජුන් ඇලෝසියස්ගේ සිර කුටියේ තිබිලා සිම්පත් හමු වුණා. වහාම රජය විසින් ඒ පිළිබඳ විමර්ශනය කරලා රටට කියන්න ඕන කාටද කෝල් කළේ කියලා.''

(මව්බිම)