gossip lanka

දෙමළ මන්ත්‍රි 10කගේ බෙල්ල හිරකිරීමේ සුදානමක් !

රටේ ඒකීයභාවයට එරෙහිව අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දහදෙනකුගේ සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ තනතුරු අභියෝගයට ලක්වීමේ නීතිමය තත්ත්වයක් ඇති වී තිබෙන බව 'මව්බිම' පුවත්පත වාර්තා කරයි.

රටේ ඒකීයභාවයට අභියෝග කරමින් එල්ටීටීඊ සංවිධානය ප්‍රවර්ධනය
කිරීම වෙනුවෙන් අදහස් දැක්වූ සහ එල්ටීටීඊ සැමරුම් උත්සවවලට සහභාගි වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 10 දෙනකුගේ පමණ තොරතුරු වාර්තා වී තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ ජේ‍යෂ්ඨ සාමාජිකයකු පැවැසු බව එම පුවත් වාර්තාවේ සඳහන්වේ.

උතුරේ යම් යම් උත්සවවලදී ජීනීවා මානව හිමිකම් කොමිසමේදී මෙවැනි ප්‍රකාශ සිදු කර තිබෙන බවට තොරතුරු වාර්තා වන බවත් ඊට අදාළ පුවත්පත් වාර්තා සහ වීඩියෝ පට පරීක්ෂා කිරීමෙන් අනතුරුව මේ ගැන අවශ්‍ය නීති උපදෙස් ලබාගැනීම සඳහා කථානායක කරු ජයසූරිය මහතාට යොමුකරන බව එම ඒකාබද්ධයේ මන්ත්‍රීවරයා සඳහන් කළ බවත් එම පුවත් වාර්තාවේ දැක්වේ.

 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් !

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී රාජපක්ෂ පාලන සමයේ දී මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ධුරයක් දැරූ, කොළඹ විශ්වවිද්‍යාලයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා සඳහන් කළේ, රටේ ඒකීයභාවය අභියෝගයට ලක් කරමින් ප්‍රකාශ නිකුත් කිරීම හා බෙදුම්වාදී සංවිධානයක උත්සව වෙනුවෙන් පෙනී සිටීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය වන බවයි.

තමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බව විජයකලා මහේෂ්වරන් මහත්මිය පිළිගෙන තිබෙන නිසා විනය පරීක්ෂණයක් පවත්වා ඇය පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉවත් කිරීමට කථානායකතුමාට හැකියාව තිබෙන බවද ප්‍රතිභා මහානාම හේවා මහතා ප්‍රකාශ කළේය.

එම පූර්වාදර්ශය ගෙන රටේ ඒකීයභාවයට එරෙහිව ප්‍රකාශ නිකුත් කළ හෝ ක්‍රියා කරපු යම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වේ නම් එම සාක්ෂි සනාථ වූ විට ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයද නීතිය අනුව අහෝසි වන බව ප්‍රතිභා මහානාම හේවා මහතා ප්‍රකාශ කර සිටියේය.

1981 ජුනි 2 වැනිදා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ ඒ අමිර්තලිංගම්, වී. ධර්මලිංගම්, වී.එන්. නවරත්නම් සහ එම්. සිවසිදම්බරම් යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුර අහෝසි වූයේ ඔවුන් රටේ ඒකීයභාවය සුරකින බවට දිවුරුම්දීම ප්‍රතික්ෂේප කළ නිසා බවද ප්‍රතිභා මහානාම හේවා මහතා පෙන්වා දුන්නේය.

 විග්නේශ්වරන් දොට්ට දාන්න පුළුවන් :

 මීට අමතරව එල්ටීටීඊ සංවිධානය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් අදහස් දැක්වූ විජයකලා මහේෂ්වරන් මහත්මියගේ ප්‍රකාශය අනුමත කරන බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාද ප්‍රකාශ කිරීමෙන් ඔහුද රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන බවත් මේ අනුව විග්නේශ්වරන් මහතා ප්‍රධාන අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි උතුරු පළාත් ආණ්ඩුකාරවරයාට හැකි බවද ප්‍රතිභා මහානාම හේවා මහතා කියා සිටියේය.

1988 වසරේදී එවකට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය වර්ධරාජා පෙරුමාල් මහතා එල්ටීටීඊ සංවිධානය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පෙනී සිටීම නිසා පෙරුමාල් මහතා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට එවකට හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ක්‍රියා කළ බවද වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා ප්‍රකාශ කළේය.