gossip lanka

ප්‍රභාකරන් අගමැති වියයුතු බවටත් විජයකලා කියලා !

උතුරු නැගෙනහිර පළාත්වල වෙසෙන දෙමළ ජනතාවට භීතියකින් තොරව නිදහසේ ජීවත්වීමට අවශ්‍ය නම් LTTE සංවිධානය යළිත් හිස එසවිය යුතු යැයි යහපාලන ආණ්ඩුවේ හිටපු වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් විසින් සිදුකළ ප්‍රකාශය රට කැළඹුවේය.

කොටි සංවිධානය නැවත බිහිකිරීම සිය මූලික අරමුණක් වන බව කියමින් කරුණු රැසක් කී ඇගේ කතාව පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර දැක්වූ අදහස් මෙසේය.

“යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැත්වූ උත්සවයකදී ඇමැතිනී විජයකලා මහේෂ්වරන් කතාවක් සිදුකර තිබෙනවා. ඇය එතනදී උතුරේ කාන්තාවන් බරපතළ දුෂ්කරතා ගොඩකට මුහුණ දෙනවා කියලා තියෙනවා. මෑතකදී යාපනයේ අවුරුදු හයක දැරියක් ඝාතනය වුණා යැයි කියලා තියෙනවා. හැබැයි එල්.ටී.ටී.ඊ. සංවිධානය සක්‍රීයව තිබුණා නම් ඒ වගේ ඉරණමක් අත්වෙන්නේ නෑ කියලා තිබුණා. එහෙම කියලා ඇය කියන්නේ නැවත කොටි සංවිධානය බිහිවිය යුතු බවයි. ඇය එල්.ටී.ටී.ඊ. සංවිධානය යළිත් පණ ගන්වන්නට කතා කළාට අපි දන්නවා ඇයගේ ස්වාමිපුරුෂයා ඝාතනය කළේත් ඔය කියන ත්‍රස්තවාදී සංවිධානය විසින්මයි කියලා. තමන්ගේ ස්වාමිපුරැෂයා මැරුණු නිසා තමයි විජයකලා අද පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ. පුරුෂයා හිටියා නම් මැය පාර්ලිමේන්තු එන්නේ නෑ.

කොටි සංවිධානය යළිත් බිහිවෙනවාට විජයකලා මේ තරම් කැමතිනම් ඒ වගේ කාන්තාවකට රටේ වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැති ධුරය ලබාදීම කොතරම් උචිතද කියලා අහන්න වෙනවා. ඒ වගේම මතකයි විජයකලා මීට අවුරුද්දකට විතර කලින් කීවා ප්‍රභාකරන් මේ රටේ අගමැති වෙන්න තිබුණා කියලා. ඒ වගේම ජනාධිපතිතුමාවත් ප්‍රභාකරන්ට සමකරන්න බෑ කියල කීවා. ඒත් එක්කම කීවේ ප්‍රභාකරන්ගේ අහිමිවීම දෙමළ ජනතාවගේ අවාසනාවක් කියලා. එදා ආණ්ඩුවේ ආණ්ඩුකාරවරයෙක් හිටියා. කැබිනට් ඇමැති ස්වාමිනාදන් හිටියා. හැබැයි එදා මේ විදිහට හෙළා දැමීමක් වූයේ නෑ.

ඉදිරියේදී මැතිවරණයක් පැවැත්වීමට නියමිතයි. ඒ නිසා පොඩි පොඩි මන්ත්‍රීලා දම්මලා මේ කතාව හෙළාදැක්කා කියනවා. නමුත් මේ කතාව විජයකලා සිදුකර තිබුණේ විදේශීය සහ ස්වදේශීය අමාත්‍යවරුන් ඉදිරියේමයි. ඒත් එක්ක ඇය ප්‍රකාශ කළා උතුරේ කාන්තාවන් දැන් බරපතළ දුෂ්කරතා රැසකට මුහුණ දෙනවාලු. පාසල් දැරියක් ඝාතනය වුණාලු. මේත් එක්කම මතක් වෙනවා හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට කොටි සංවිධානය බෝම්බ ගහලා ඇහැක් අන්ධ කළා. එහෙම කරපු සංවිධානයේ නායකයාට චන්ද්‍රිකා මිස්ටර් ප්‍රභාකරන් කීවා. එහෙම බලද්දි චන්ද්‍රිකායි විජයකලායි දෙන්නගේ වෙනසක් නෑ.

විජයකලා දැන් කියනවා ඇයගේ ඇමැතිකම අතහරින්න සූදානම් කියලා. ඇමැතිකම අත්හැරලා නිකන් ඉන්න විතරක් ලැබෙන්නේ නෑ. මොකද අපේ රටේ ව්‍යවස්ථාවේ 157 ඒ වගන්තිය අනුව පැහැදිලිවම දක්වලා තියෙනවා ශ්‍රී ලංකාව තුළ වෙනම රටක් වෙනම රාජ්‍යයක් හදන්න මුදල් දීම, සහය දීම, අනුබල දීම, ධෛර්යය දීම, දේශනා කිරීම සහමුලින්ම නීති විරෝධියි කියලා. කොටි සංවිධානය අවුරැදු 30ක් තිස්සේ හැදුවේ මේ රට බෙදා වෙන්කරන්න. එහෙම රට බෙදලා වෙන්කරන්න හදපු ත්‍රස්ත සංවිධානයක් නැවත පණ ගන්වන්න ඕනෑ කියලා රටේ ඇමැතිවරු කැබිනට් ඇමැතිවරු ඉදිරියේදී රටේ මහජනතාවගේ බදුමුදලින් පඩි ගන්නා අමාත්‍යවරියක් ප්‍රකාශ කරනවා නම් මේ ව්‍යවස්ථාවේ තියෙනවා දෙන්න වුවමනා දඬුවම් මොනවද කියලා.

එවැනි අයකුට දියයුතු දඬුවම් තමයි අවුරුදු හතකට ප්‍රජා අයිතිය අහෝසි කිරීම, සියලුම චංචල නිශ්චල දේපල අහෝසි කිරීම මන්ත්‍රී ධූරය අහෝසි කිරීම කියන කාරණා. විජයකලාගේ තියෙන කපටිකමට තමයි ඇය ඇමැතිධුරයෙන් ඉවත්වෙන්න හදන්නේ. මේක අපි දකින්නේ එක්තරා විදිහකට ජනප්‍රියවීම සඳහා සිදුකරන වෑයමක් විදිහටයි.

වෙනම රාජ්‍යයක් අවශ්‍ය බව විග්නේෂ්වරන් කියනවා. සිවාජිලිංගම් එහෙම කියනවා. හැබැයි යුද හමුදාවේ කර්නල් රත්නප්‍රිය බන්දු වන්නියේ ඉඳන් ස්ථාන මාරුවීම් ලබද්දී මුලු ගමම හඬා වැටුණා. ඔහු සිංහල හමුදා නිලධාරියෙක් වෙලා දෙමළ ජනතාවට කරපු සේවය නිසයි එහෙම මිනිස්සු හඬා වැටුණේ. නමුත් අපි කවදාවත් අහලා තියෙනවාද කොතැනකවත් දෙමළ ගමකදි විජයකලා යනකොට අඬනවා කියලා. එහෙම නැත්නම් සිවාජිලිංගම්ට හරි විග්නේෂ්වරන්ට නැත්නම් සම්බන්ධන් වෙනුවෙන් අඬනවා අහලා තියෙනවාද? එහෙම නෑ. මේකෙන්ම තේරෙනවා දෙමළ ජනතාවගේ කැමැත්ත සහ මේ කිහිප දෙනාගේ කැමැත්ත ගැන. මේ කරුණු කාරණා ඔවුන් කීප දෙනාගේ පැවැත්ම සඳහා නිර්මාණය කරගත්ත එකක් විතරයි.

2009ට කලින් එල්.ටී.ටී.ඊ. කාලෙ දෙමළ ජනතාව උතුරේ සතුටින් හිටියා කියලා විජයකලා කියන්නෙ ඇය ඒ දවස්වල උතුරෙද හිටියේ. අපි දන්නවා ඇය හිටියේ කොළඹ. එවකට උතුරු පළාත භාර නාවික ආඥාපති විදිහට මම දැක්කා එදා උතුරේ ඇත්ත තත්ත්වය. උදේ ඉස්කෝලෙ යන ළමයා හවස වෙද්දි කොටි සංවිධානය අරගෙන ගිහින්. ඒ දවස්වල දෙමළ අම්මලා මූහමලේ මාර්ග බාධකය ළඟදී බස්වලට නැගලා සීට් අස්සට නැවිලා බලනවා තමන්ගේ දරුවො හංගලා ඉන්නවාද කියලා. එහෙමයි එල්.ටී.ටී.ඊ. සංවිධානය වැඩකළේ. තමන්ගේ ස්වාමියා ඔවුන් උස්සාගෙන යනවා. එහෙම එකේ කවද්ද දෙමළ කාන්තාවන් සතුටින් හිටියේ. පුංචි වෙළෙඳාමක් කරන මිනිස්සු බදු ගෙවීමට බැරිතැන දිවිනසා ගත්තා. උද්ඝෝෂණවලට නොයන පාසල් දරුවෝ විදුහල්පතිවරු වෙඩිතියලා මරලා දැම්මා. ධීවරයන්ගේ හොඳ මාළු බලෙන් අරන් විකුණුවා.

මේ කියන කාලෙ විජයකලා පැත්ත පළාතෙ ආවේ නෑ. විජයකලාගේ සැමියා යාපනයේ හැඳින්වූයේ භූමිතෙල් මහේෂ්වරන් කියලයි. එවකට එ.ජා.ප. ආණ්ඩු සමයේ උතුරට භූමිතෙල් ප්‍රවාහනය අත්හිටෙව්වා. නමුත් මහේෂ්වරන් තමයි භූමිතෙල් ගෙන ගියේ. ඔහු ප්‍රකෝටිපතියෙක් වුණා. ඒ සඳහා කොටි සංවිධානයටත් තවත් අයටත් අල්ලස් දීලා තියෙනවා. අන්තිමට ඔහු 2008 දී එ.ජා.ප.ය යටතේ ඡන්දය ඉල්ලුවා. ඊට විරැද්ධව සහ අල්ලස් ගැටුමක් හේතුවෙන් තමයි කොටි සංවිධානය මහේෂ්වරන්ට වෙඩි තිබ්බේ. එහෙම ඝාතනය වූ සැමියාගේ බිරිය තමයි මේ කියන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට පණදෙන්න ඕන බව”

(දේශය)