“අනිවාර්යෙන් ජම්පරය ඇඳිය යුතුයි” – තලතාගෙන් සංඝ සභාවට ලිපියක්

බන්ධනාගාර පනතට අනුව සිර දඬුවමකට ලක්‌වන ඕනෑම අයකු සිරකරු ඇඳුම ඇඳිය යුතු බව දක්‌වමින් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය ශ්‍යාමෝපාලි වංශික මහ නිකායේ කෝට්‌ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහ සංඝ සභාව වෙත ලිපියක්‌ යවා තිබේ.

ඇමැතිවරිය එම ලිපිය යවා ඇත්තේ සිර දඬුවමකට යටත්ව
බන්ධනාගාරගත කර සිටින ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහා සංඝරත්නය වෙත කරුණු පැහැදිලි කිරීමක්‌ කරමිනි.

කෝට්‌ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් වෙත ඇමැතිවරිය සිය ලිපිය යොමුකර ඇත.

කෝට්‌ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් විසින් ඥනසාර හිමි සම්බන්ධයෙන් අධිකරණ ඇමැතිවරියට යොමු කළ ලිපියට පිළිතුරු ලෙස එවා ඇති අදාළ ලිපියේ ස්‌වාධීන අධිකරණයක්‌ තුළ රටේ සියලු පුරවැසියන් රටේ පවතින නීතියට අවනතව ගරුකළ යුතු බවද සඳහන් වේ.

අධිකරණයක්‌ මගින් දෙනු ලබන තීන්දුවකදී සිරභාරයට පත්වන ඕනෑම අයකුට බලපාන නීතිය බන්ධනාගාර පනතේ පැහැදිලිව සඳහන්ව තිබෙන අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව ක්‍රියා කළ යුත්තේ එම පනතට අනුව බවද ඇමැතිවරිය සිය ලිපිය මගින් කෝට්‌ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී මහා සංඝ සභාවට පෙන්වා දී තිබේ.