අධිකරණයට අපහාස කිරීමේ චෝදනා… විග්නේෂ්වරන්ට නොතීසි…

අධිකරණයට අපහාස කිරීම යන චෝදනාව යටතේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ඇතුළු තිදෙනෙකුට සැප්තැම්බර් 8 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ඊයේ(8) නොතීසි නිකුත් කර තිබේ.

අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් උතුරු
පළාත් හිටපු අමාත්‍ය පී. ඩෙනීෂ්වරන් මහතා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඩුල්ල විසින් නොතීසි නිකුත් කිරීම සිදු කර තිබේ.

පෙත්සම්කාර හිටපු අමාත්‍ය පී. ඩෙනීෂ්වරන් මහතා පවසා සිටියේ තමා අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කළ තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පියවර නොගන්නා බවයි. අභියාචනාධිකරණ නියෝගයට අනුව තමන් නැවත අදාල අමාත්‍ය ධූරයේ පිහිටුවිය යුතු බවත් ප්‍රධාන අමාත්‍යවරයා එසේ නොකිරීමෙන් අධිකරණ නියෝග නොසලකා අධිකරණයට අපහාස වන අයුරින් ක්‍රියා කර ඇති බවත් පෙත්සම්කාර පාර්ශවය පවසයි.

මේ අනුව අද නොතීසි නිකුත් කෙරුනේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන්, පළාත් අමාත්‍යවරුන් වන ආනන්දි සසීදරන් හා කේ. සිවනේසන් යන අයටය.

මේ අතර පසුගිය වසරේ උතුරු පළාත් සභාවේ ධීවර හා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පී. ඩෙනීෂ්වරන් මහතා සිය තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධව විග්නේශ්වරන් මහතා ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වලකාලමින් නිකුත් කළ තහනම් නියෝගය සැප්තැම්බර් 10 දක්වා දීර්ඝ කිරීමට ද අද නියෝග ලැබුණි.

පී. ඩෙනීෂ්වරන් මහතා වැඩිදුරටත් කියා සිටියේ දූෂණ චෝදනා එල්ල කරමින් සී.වී. විග්නේෂ්වරන් මහතා තමා අමාත්‍යධූරයෙන් නෙරපීමට ඉකුත් අගෝස්තු මස ක්‍රියා කළ බවත් යම් අමාත්‍යවරයෙකු ඉවත් කිරීමේ බලතල පවතින්නේ පළාත් ආණ්ඩුකාරවරයාට පමණක් වූවද මෙහිදී ප්‍රධාන අමාත්‍යවරයාට එම බලය ලැබුනේ කෙසේද යන්නත් ය.