gossip lanka

රටේ තියෙන ලොකුම ප්‍රශ්නය හොඳ නායකයකු නැතිකමයි - ඇමති දුමින්ද දිසානායක

නායකයන් නැතිකම වර්තමාන ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගැටලුවක් බව වාරිමාර්ග ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි. වර්තමානයේ සිටින්නේ සැබෑ නායකයන් නොව කවුරුන් හෝ පසුපස යන අය යැයිද ඒ මහතා කීය.

අනුරාධපුර නිවත්තකචේතිය විද්‍යාලයේ 2018-19 වසර සඳහා
පත් කළ ශිෂ්‍ය නායකයන්ට නිල ලාංඡන පැලඳවීම සඳහා 1 වැනිදා සවස පැවැති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී හෙතෙම මෙසේ ද කීය. නායකයන් යනු කවුරුන් හෝ ලබාදෙන කුමන හෝ අණක් පිළිපදින අය නොවිය යුතු බව අවධාරණය කළේය.

අපේ රට රජවරුන් එකසිය ගණනක් විසින් වසර දහස් ගණනක් පාලනය කළ නිසා කවුරු හෝ කෙනෙක් ලබාදෙන අණට කීකරු වෙලා පාලනය වෙන්නයි බොහෝ විට කැමැති. නායකයෙන් වුණා කියලා වැරැදි අණක් දුන්නටපිළිපදින්න අවශ්‍ය නෑ. හරි දේ පමණක් තෝරා බේරා ගෙන ඉටු කළ යුතුයි. වැරැදි දේ අනුමත කරමින් පිටුපස යන අය නිසා සිදුවන්නේ හානියක්.

මේ නිසා අභියෝග භාර ගැනීම සඳහා අලුත් පරපුරට නිවැරැදි නායකත්වයේ ලක්ෂණ කියා දිය යුතුයි. අපි පාසලෙන් නිවැරැදි නායකයන් නිර්මාණය කළ යුතුයි. ශිෂ්‍ය නායකකම අනාගත නායකයකු වීම සඳහා ලැබෙන සුවිශේෂී අවස්ථාවක්. සියලු දෙනා ජයග්‍රහණ කරා මෙහෙයවීම නායකත්වයෙන් විය යුතු දෙයක්.

මට ගුරුවරුන්ගෙන් හා දරුවන්ගෙන් ඉල්ලන්න දෙයක් තිබෙනවා. ඒ තමා දරුවන් පාසල් කාලය තුළ වැඩිහිටියන් වෙන්න යන්න එපා. අවශ්‍ය විනය හැදියාව පවත්වාගෙන යන්න ඕනෑ. මේ නගරයේම පාසල් දරුවන් කළ නරක දේ ගැන අපට පොලිසිවලින් අහන්න ලැබෙනවා. මහ මිනිස්සු කරන දේ කරන්න ඕනෑ තරම් කාලය ඉදිරියේදී ලැබෙනවා. වසර 13ක් තරම් කෙටි පාසල් කාලය නාස්ති කරගන්න එපා.

අනෙක් කාරණය තමා නායකයන් තෝරන විට පන්තියේ හොඳයි කියලා සම්මත කෙනාම ගන්නත් එපා. අනෙක් අයටත් හැදෙන්න වගකීම් භාරදීම නායකයන් තෝරන විට කළ යුත්තක්.

අනුරාධපුර - වික්‍රම රලපනාව