gossip lanka

ගිල්බට්ගෙන් මිලියන 12ක් ගත්තැයි පොලිස්පතිට අල්ලස් චෝදනාවක් !

වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මහනුවර ත්‍රිත්ව විදුහලේ හිටපු විදුහල්පති රොබට් ගිල්බට්ගෙන් රුපියල් මිලියන 12ක් ලබාගත් බවට අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසමට නිශාන්ත ද අල්විස් නැමැත්තෙකු පැමිණිළිකර ඇත.

පූජිත් මහතා, මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරද්දී අධිකරණ නියෝගයක් මත ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කළ රොබට් නැමැත්තා ශ්‍රී ලංකාවට පැමිණ මහනුවර
සැඟව සිටියදී ඔහු අත්අඩංගුවට නොගෙන සිටීමට මේ මුදල ගෙන ඇති බවට පොලිස්පතිවරයාට චෝදනා එල්ලව තිබේ.

වසර 2008 දී මෙය සිදුව ඇති බව නිශාන්තගේ පැමිණිල්ලේ සටහන්ව ඇත.

පිටුවහල් කර ඇති රොබට් ගිල්බට් නැමැත්තා පිටුවහල් කිරීමෙන් පසුව ලංකාවට පැමිණ මහනුවර හෝටලක පැවැති ඔහුගේ පුත්‍රයාගේ මගුලට සහභාගිවී ඇති බවද පැමිණිල්ලේ දක්වා තිබේ.

මේ සඳහා අල්ලසක් ලෙස ජයසුන්දර මහතාට රුපියල් මිලියන 12ක අල්ලසක් ලබා දී ඇති බවත්, එම චෙක්පතට අදාළ ගිණුම ත්‍රිත්ව විදුහලට සම්බන්ධ පිරිසක් විසින් මහනුවර හැටන් නැෂනල් බැංකු ගිණුමේ පවත්වාගෙන ගොස් ඇති බවද පැවසේ.

අදාළ චෙක්පත නිකුත් කර ඇත්තේ 180837076 දරණ ගිණුමෙන් බවද, එය 2008-08-20 වැනිදා පී.එස්.බී. ජයසුන්දරට ලියා ඇති බවත් නිශාන්ත සිය පැමිණිල්ල මගින් දක්වා තිබේ.

කෙසේවුවද, තමාට විරුද්ධව කිසිවකු පැමිණිලි කර ඇත්නම් එය විභාග කරන ලෙසත් තමා මෙතෙක් තමාට කියා නිවසක් හෝ තනාගෙන නොමැති බවත්, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කියා සිටී.

මූලාශ්‍රය - රාවය