'විපක්ෂනායක ධුරය ඒකාබද්ධයට දෙන්න බැහැ' - සභානායක

ඒකාබද්ධ විපක්‍ෂය පිළිගත් දේශපාලන පක්‍ෂයක් වශයෙන් නොව දේශපාලන කල්ලියක් බවත් එවැනි කල්ලියකට පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව ලබාදිය නොහැකි බවත් පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා 'ඉරිදා මව්බිම' පුවත්පතට
ප්‍රකාශ කර ඇත.

පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරන ලද දේශපාලන පක්‍ෂ 5ක් වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන බවත්, එම දේශපාලන පක්‍ෂ 5ට ඒකාබද්ධ විපක්‍ෂය අයත් නොවන බවත් කිරිඇල්ල අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඒ අනුව ඒකාබද්ධ විපක්‍ෂය යනු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එක් කල්ලියක් බවත්, එවැනි කල්ලියකට විපක්‍ෂ නායක ධුරය ඉල්ලා සිටීම සාධාරණ නොවන බවත් එය පිළිගත් පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනි බවත් වැඩිදුරටත් දක්වන කිරිඇල්ල අමත්‍යවරයා අවධාරණය කර සිටියි.

 කථානායකට විශ්වාසභංගයක් !

 කෙසේවුවද ඒකාබද්ධ විපක්‍ෂය පවසන්නේ, පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායක ධුරය සමඟ නිසි පිළිගැනීම ඒකාබද්ධ විපක්‍ෂයට ලබානොදුනහොත් කථානායක කරු ජයසූරිය මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට අවධානය යොමුවී තිබෙන බවයි.

ඒකාබද්ධ විපක්‍ෂයේ ජේ‍යෂ්ඨ නියෝජිතයකු 'ඉරිදා මව්බිම'ට ප්‍රකාශ කර ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 70ක් සිටින ඒකාබද්ධ විපක්‍ෂයට හිමි නිසි පිළිගැනීම සම්බන්ධයෙන් 07 වැනිදා අඟහරුවාදා කථානායක කරු ජයසූරිය මහතාගෙන් යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වන බවයි.

තමන්ට පාර්ලිමේන්තුව තුළ හිමි නිසි පිළිගැනීම ලබාදෙන ලෙස ඉල්ලා ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අස්සන් කරන ලද ලියවිල්ලක් කථානායකතුමාට භාරදී ඇති බවත් ඒ ගැන තීරණය ගැනීමේ වගකීම වෙනත් අයට භාර නොකර කථානායක විසින්ම ඍජු තීරණයක් ගත යුතු බවත් එම සාමාජිකයා ප්‍රකාශ කර ඇත.

2004 වර්ෂයේදී පරිවාස ආණ්ඩුව අවස්ථාවේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 39 දෙනා ඉවත් වීමෙන් පසුව විපක්‍ෂයේ ස්වාධීන මන්ත්‍රි කණ්ඩායමක් ලෙස පිළිගත් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් කුමාර මහතාද ස්වාධීන මන්ත්‍රිවරයකු ලෙස පිළිගෙන තිබෙන අතර මේ සඳහා තවත් උදාහරණ තිබෙන බවත් එම සාමාජිකයා පෙන්වා දෙයි.

ඒ අනුව 07 වැනිදා ඒකාබද්ධ විපක්‍ෂයට පාර්ලිමේන්තුව තුළ සාධාරණයක් ඉටු නොවුණහොත් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඊට අමතරව කථානායක කරු ජයසූරිය මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවත් එම ජේ‍යෂ්ඨ නියෝජිතයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.