මන්ත්‍රී වැටුප් ඩබල් කිරීම ගැන ප්‍රශ්නයක් නාමල් ජනපතිගෙන් අසයි..!

මේ මාසයේ සිට මන්ත‍්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ වැටුප දෙගුණයකින් වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කිරීමත් සමඟ එම තීරණය සඳහා බොහෝ විවේචන එල්ලවුනා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද සිය ටිවිටර් ගිණුම හරහා ප්‍රකාශයක් නිකුත් කරමින්  දිනෙන් දින ජීවන වියදම සහ බදු බර ඉහල යද්දී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වැටුප් වැඩිකර ගැනීම සාධාරණීකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ
ජනාධිපතිවරයාගේ අවධානයට යොමුකර තිබුනා.

මන්ත‍්‍රීවරයෙකුට දැනට  රුපියල් 54,285 ක මූලික වැටුපක් හිමිවන අතර එය රුපියල් 125,000 දක්වා වැඩි කිරීමට තීරණය කර ඇති අතර නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට ලැබෙන රුපියල් 63,500 ක වැටුපක් රුපියල් 135,000 දක්වා වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. එසේම ඇමතිවරයෙකුට සහ රාජ්‍ය ඇමතිවරයෙකුට දැනට හිමි වන රුපියල් 65,000 ක වැටුප රුපියල් 140,000 ක් දක්වා ඉහල දැමීමටයි නියමිතව තිබෙන්නේ.

මේ අතර මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කලේ මන්ත්‍රී වැටුප් වැඩිකර රටේ ප්‍රශ්ණ යට ගැසීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි. එසේම නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකද මෙම වැටුප් වැඩිවීම ප්‍රතික්ෂේප කර තිබුණා.