ජනපති අණ නොතකා මුතුරාජවෙල යළිත් වනසයි

මුතුරාජවෙල තෙත් බිමෙහි ගොඩ කිරීම්, පස් කැපීම්, සහ ඉදිකිරීම් සියල්ල සපුරා තහනම් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැණවූ නියෝගය සුනු විසුණුකොට පරිසර සංහාරකයෝ මේ වන විට මුතුරාජවෙල තෙත්බිමට අයත් අක්කර සිය ගණනක කඩොලාන පරිසර පද්ධතිය ප්‍රසිද්ධියේ වනසමින් සිටිති.

මේ භූමි භාගය පිහිටා ඇත්තේ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයට නැගෙනහිරින් හා කොළඹ -
මීගමුව මහා මාර්ගයට බටහිරින් ජා ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට හා පොලිස් වසමට අයත් වහටියගම, දෙහියාගාත, දෑලතුර, පට්ටියගොඩැල්ල සහ දඬුගම යන ප්‍රදේශ ආවරණය වන පරිදිය. මීට පෙර මුතුරාජවෙල තෙත්බිමේ සංහාර සම්බන්ධයෙන් අධිකරණය මගින් වරදකරුවෙකුවූ පුද්ගලයෙකු මේ පරිසර සංහාරය සිදුකරන අතර ඔහු මෙරට ප්‍රබලතම ව්‍යාපාරිකයකුගේ නියෝජිතයෙකු බව පැවසේ.

මුතුරාජවෙල තෙත්බිමට අයත් අක්කර සිය ගණනක කඩොලාන පද්ධතිය විනාශ කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සිදුකළ විරොධයේ ප්‍රතිඵලයක් ලෙස එසේ හඬ නැගූ ප්‍රදේශවාසීන් කීපදෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ගම්වාසීන්ගේ විරෝධය මැඩලීම පිණිස පාතාල සාමාජිකයින්ද යොදවා ඇත.

දැනට බලපවත්නා නීති අණපනත් රැසක් එකවර උල්ලංඝණය කරමින් සිදුකරන මේ ක්‍රියාව සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන නිහඬව සිටීම පිළිබදව දැඩි පිළිකුල හා අප්‍රසාදය පළකරන ප්‍රදේශවාසීන් පවසන්නේ මෙය මුතුරාජවෙල තෙත්බිමට මෑතක එල්ලවූ බරපතලම පරිසර සංහාරය බවයි.

ඒ අනුව පසුගිය මාර්තු 22 දා ජනපතිවරයා මෙහි පැමිණ මුතුරාජවෙල සුරකින බවට කළ ප්‍රකාශය මේවන විට පුහු අඬහැරයක් පමණක් බවට පත්වී ඇතැයි පවසන ප්‍රදේශවාසීන් පවසන්නේ එදින එතුමා මෙහි පැමිණීමට වැය කළ ඉන්ධන පවා නිස්කාරන වියදමක් ව ඇති බවයි.

එමෙන්ම එදා මුතුරාජවෙල ආරක්ෂාවට ඔහු විසින් යොදවනු ලැබූ පොලිස් විශේෂ කාර්යබලකායද අද වන විට ආගිය අතක් නොමැති බව ප්‍රදේශවාසීහු පවසති.