gossip lanka

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය විශ්වවිද්‍යාල දැනුම ලබාදීමට ගිවිසුමක්

පාර්ලිමේන්තු විවාදවලදී හා විෂය මූලික කරගත් කරුණු ඉදිරිපත් කිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය විශ්වවිද්‍යාල දැනුම ලබාදීම සඳහා මාර්තු 12 ව්‍යාපාරය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර, අද (15දා) අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන බව මාර්තු 12 ව්‍යාපාරය සඳහන් කරයි.

රට තුළ පිරිසුදු දේශපාලනයක් ඇති කිරීම සඳහා විද්වතුන්, බුද්ධිමතුන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්
සහ මැතිවරණ නිරීක්ෂකයන් එක්ව මාර්තු 12 ව්‍යාපාරය සකස් කර තිබෙන බවද එම සංවිධානයේ සාමාජික, පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

තම සංවිධානය සමග මන්ත්‍රීවරුන් 26 දෙනෙකු මේ වනවිට ඒකාබද්ධ වී සිටින බවත්, ඔවුන්ට පාර්ලිමේන්තු විවාදවලදී හා වෙනත් විෂයයන් පිළිබඳ පාර්ලිමේන්තුවට කරුණු දැක්වීමේදී අවශ්‍ය වන දැනුම ලබාදීම සඳහා මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන බවද ඔහු පවසා සිටියේය.

අවබෝධතා ගිවිසුම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සහ මාර්තු 12 ව්‍යාපාරය අතර අත්සන් කරන බවත්, ඉන්පසුව විවිධ විෂයයන් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය සිදු කර ඇති පරීක්ෂණ වාර්තා තොරතුරු ලබාගැනීමටද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හැකි වන බවත් හෙතෙම සඳහන් කළේය.