gossip lanka

විපක්ෂනායක ධුරය ගන්න ඒකාබද්ධයේ 69 ස්වාධීන වෙන්න යති

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 69 දෙනා පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා හෙට (14දා) දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය
ප්‍රධාන සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය පවරා දීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන විය යුතු බවට තර්කයක් ඉදිරිපත් වීම නිසා මෙවැනි තීරණයක් ගැන අවධානය යොමු කිරීමට තීරණය කළ බවද රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

මොන තර්ක ඉදිරිපත් කළද රටේ ජනමතයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා නම් විපක්ෂයේ අති බහුතරය හිමි ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හිමිවිය යුතු බවත් රංජිත් ද සොයිසා මහතා අවධාරණය කරයි.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ විට ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුර යම් අවදානමකට පත්වීමේ අවස්ථාවක් දේශපාලන විරුද්ධවාදීන් ඇති කළද රටේ පොදු මහජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඕනෑම දෙයක් පරිත්‍යාග කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සියලුම දෙනා සූදානම් බවද රංජිත් ද සොයිසා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය හිටපු මානව හිමිකම් කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහනාම හේවා මහතා පැවසුයේ, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වී පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වුවහොත් ඔවුන්ට විපක්ෂ නායක ධුරය අනිවාර්යයෙන්ම ලබාදිය යුතු බවයි.

අවධානම ගැටළුවක් නැහැ :

එසේ වුවහොත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා විසින් ස්වාධීන වන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ මන්ත්‍රි ධුර අහෝසි කිරීමේ ඉඩ ප්‍රස්තාවක් තිබුණද අවම වශයෙන් ඒ සඳහා වසර 2ක පමණ කාලයක්වත් නඩුව විභාග වන නිසා ඒ අතරතුර මීළඟ පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන නිසා එය එතරම් ගැටලුවක් නොවන බවද ප්‍රතිභා මහනාම හේවා මහතා පැවසිය.

කෙසේ නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන සැලකූ විට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දෙමළ ජාතික සන්ධානයට ලබාදීම කිසිසේත්ම පිළිගත නොහැකි බවද ප්‍රතිභා මහනාම හේවා මහතා ප්‍රකාශ කළේය.

කථානායක කරු ජයසූරිය මහතාගේ තර්කය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 95 දෙනාගෙන් 94 දෙනකු විපක්ෂයට පැමිණ එක් අයකු පමණක් ආණ්ඩුවේ සිටියත් 94 දෙනාගේ කණ්ඩායමට විපක්ෂ නායක ධුරය ලබානොදී දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායක ධුරය ලබාදීම සාධාරණද කියා ඒ මහතා ප්‍රශ්න කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකියි :

පාර්ලිමේන්තුවේ බහුතරය හිමි පුද්ගලයා අග්‍රාමාත්‍ය ධුරයට පත්වෙනවා නම්, විපක්ෂයේ බහුතරය හිමි පුද්ගලයා විපක්ෂ නායකයා විය යුතු බවත් එය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක් බවත් මහනාම හේවා මහතා ප්‍රකාශ කරයි.

තමන්ට ඡන්දය ලබාදුන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබෙන බව සඳහන් කරමින් සහ ඇති වී තිබෙන තත්ත්වය මත මෙම සියලු කරුණු ගෙන හැර දක්වමින් විපක්ෂ නායක ධුරය තමන්ට හිමි නොවීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයට ශ්‍රේෂ්ඨාධිකරණයට ඕනෑම අවස්ථාවක පෙත්සමක් ගොනු කළ හැකි බවද වැඩිදුරටත් අදහස් දක්වමින් මහනාම හේවා මහතා ප්‍රකාශ කළේය.

(මුලාශ්‍රය - මව්බිම)