gossip lanka

ජනාධිපති නිකම්ම නිකම් උත්සව සැරසිල්ලක් වගේ.. මෙලෝ වැඩක් නෑ..- රතන හිමි

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ජනාධිපති උපදේශක තනතුරින් ඉවත් වන බව පසුගියදා ප‍්‍රකාශ කර සිටියහ.උන්වහන්සේ එහිදී වැඩිදුරටත් සඳහන් කළේ එම තනතුරේ සිටීමත් ලැජ්ජාවක් බවත් තමන් වහන්සේගෙන් අදාළ පාර්ශව ගත් උපදෙසක් නැති බවත්ය.

ඒ පිළිබඳව මෙන්ම, වස විස නැති ගොවිතැන සහ සමුපකාර සංවිධානයේ
වෙදිකාවට ගොඩවීම පිළිබඳව උන්වහන්සේගෙන් විමසා සිටියෙමු.පහතින් පෙළ ගැසෙන්නේ පූජ්‍ය අතුරලියේ රතන හිමි සමඟ ‘දිවයින’ කළ සාකච්ඡාවයි.

ප‍්‍රශ්නය – අවසරයි අපේ හාමුදුරුවනේ. අපි දැන් ඔබවහන්සේව ආමන්ත‍්‍රණය කළ යුත්තේ කෙසේද?

පිළිතුර – රතන හාමුදුරුවෝ කිව්වහම හරි

ප‍්‍රශ්නය – ඇයි එතකොට ජනාධිපති උපදේශක තනතුර භාවිත කරන්න එපාද?

පිළිතුර – ඒක දැන් අදාල නැහැ.

ප‍්‍රශ්නය – පසුගිය ආණ්ඩු පෙරළා යහපාලන ආණ්ඩු නිර්මාණය කිරීමට පෙරමුණ ගත්තේ ඔබවහන්සේලා ඇතුළු පිරිසක්. එහෙම පත්කරපු ආණ්ඩුව දැන් පල් හොරු කියලා ඔබවහන්සේලාම සඳහන් කරනවා.

පිළිතුර – අපි පැවති ආණ්ඩු එපා කිව්වේ ඒ ආණ්ඩුවේ තිබුණු වැරැදි හා අඩුපාඩු නිසයි. ඔවුන් ජාතික ධනය කොල්ලකෑවා. ඒ නිසා තමයි අපි ඊට එරෙහිව අරගලයක් කළේ. මේ ආණ්ඩුව පත්කර ගත්තේ ඒ හොරකම එහෙමම ඉදිරියට කරන්න නෙමෙයි. නමුත් මේ අයත් බලයට පත්වෙලා ටික කාලයකින්ම මහ බැංකුව කොල්ල කෑවා. ගිය ආණ්ඩුවටත් වඩා මේ ආණ්ඩුව ටික කාලයකින් රට කොල්ල කෑවා. ඇත්තටම මහ බැංකු සිදුවීම හෙළිකිරීමේ ගෞරවය ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට හිමිවෙන්න ඕන. එතුමා නොසිටියානම් මේ කොල්ලය එළියට එන්නේ නැහැ.

ප‍්‍රශ්නය – එම සිදුවීම්වලට අමතරව රට ඉදිරියට ගෙන යෑම සඳහා වත්මන් රජයට ආර්ථික සැලසුමක් නැති බවත් ඔබවහන්සේ ප‍්‍රකාශ කර තිබුණා. තවත් බොහෝ පාර්ශවවලින් එම චෝදනාව ආණ්ඩුවට එල්ල වෙනවා.

පිළිතුර – ඇත්ත… සංවර්ධනය සම්බන්ධයෙන් මේ රජයට කිසිදු සැලසුමක් නැහැ. නව ලිබරල් ආර්ථිකකරණය යටතේ තමයි රට ඉදිරියට ගෙනයන්නේ. ලෝකයේ ඇතිවන නව ප‍්‍රවනතා මේ ආණ්ඩුවට පෙනෙන බවක් දකින්නට නැහැ. මේ නිසා තමයි මම තීරණය කළේ ආණ්ඩුව ලබාදී ඇති තනතුරුවල රැඳී සිටීම කිසි තේරුමක් නැහැ කියලා. මගේ දැනුමෙන් කුසලතාවයෙන් මගේ රටට උපරිම දෙයක් කරන්නයි මම බලාපොරොත්තු වුණේ. නමුත් මේ රජය යටතේ එය දැන් කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ.

ප‍්‍රශ්නය – ඉදිරියේදී ඔබවහන්සේ පුළුල් ජාතික හා දේශපාලනික බලවේගයක් නිර්මාණය කරන බව ප‍්‍රකාශ කර තිබුණා.

පිළිතුර – ඇත්තටම මම දැනටමත් ජාතික සභාව කියලා ආයතනයක් ස්ථාපිත කරලා සාකච්ඡා වටයක් පවත්වාගෙන යනවා. එය අඛණ්ඩව රැස්වෙනවා.

ප‍්‍රශ්නය – ඔබවහන්සේ පුළුල් ජාතික හා දේශපාලන බලවේගයක් කිව්වේ ජාතික සභාවටද?

පිළිතුර – නැහැ. ඊටත් වඩා එහා ගිය දෙයක් තමයි මගේ බලාපොරොත්තුව. ජාතික මණ්ඩලයක් වගේ ආයතනයක් ස්ථාපිත කළ යුතුයි කියලා මම කල්පනා කළා. ඒකට දේශපාලන පක්‍ෂවලට පිටින් ඉන්න වෘත්තීය සමිති නියෝජිතයන්, ගොවි නායකයන්, වෘත්තිකයන් ඇතුළු දැන උගත් අයගෙන් සැදුම්ලත් මණ්ඩලයක් එක් වනවා. එම මණ්ඩලය රට ඉදිරියට යා යුතු මඟ පිළිබඳව තීන්දු තීරණ ගන්නා මණ්ඩලයක් බවට පත්කිරීම අපේ අරමුණයි.

ප‍්‍රශ්නය – මේ රට යන විදිහට එවැනි වූ මණ්ඩලය දෙන උපදෙස් පවතින රජයන් පිළිගනීවි යැයි සිතනවද?

පිළිතුර – ජනාධිපතිතුමා ජනාධිපතිවරණයේදී අපට පොරොන්දු වුණා ජාතික සැලසුම් සභාවක් හදනවා කියලා. ඒක එතුමාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙත් තිබෙනවා. රට පිළිබඳ වගකිවයුතු කැබිනට් පති‍්‍රකාවක් ආවොත් පළමුව එය මේ සභාවට යා යුතුයි. ඒ අනුව කිසිවකුට අත්තනෝමතික තීන්දු තීරණ ගන්න බැරි වෙනවා. රටට අහිතකර තීරණවලට එමගින් ඉඩ ලැබෙන්නේ නැහැ.

ප‍්‍රශ්නය – ජාතික සභාව විසින් ඔබවහන්සේ ඔය කියන ජාතික ප‍්‍රතිපත්ති සභාව ස්ථාපිත කර ගැනීම සඳහා කෙටුම්පතක් සකසා අදාල අංශ වෙත භාර දුන්නා නොවේද?

පිළිතුර – රටේ අර්බුද නිසාම මීට අවුරුද්දකට කලින් එහි කෙටුම්පත හදලා ජාතික සභාව මගින් ගොස් ජනාධිපතිතුමාට භාර දුන්නා. එතුමා එය ගණන් ගත්ත බවක් පෙනුණේ නැහැ. එය අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාටත් භාර දුන්නා. ඔහුත් එය ගණන් ගත්තේ නැහැ. එය එදා භාරගෙන ස්ථාපිත කරානම් අද මේ සිංගප්පූරු ගිවිසුම වගේ දේවල් ප‍්‍රශ්නයක් වෙන්නේ නැහැ. රටට අමුතු ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නැහැ. රටට අවශ්‍ය මේ වගේ දේවලූයි. මේ ආණ්ඩුව හැදීමේදී අප අතින් සිදුවුණු අතපසුවීම් නැවත නොවරදවා කිරීම සඳහා සැලසුම් සහගතව තමයි අපි ඊළඟ ආණ්ඩුව නිර්මාණය කරන්නේ. කවුරු බලයට ආවත් කරන්නේ එකම දේ බව අපි දැන් තේරුම්ගෙන තියෙන්නේ. අලූත් සිස්ටම් එකකින් තමයි රට පාලනය වන ක‍්‍රමවේදය සකසන්න ඕනෑ.

ප‍්‍රශ්නය – ආණ්ඩු පෙරළියෙන් ඔබවහන්සේලා අපේක්‍ෂා කළ කිසිවක් සිදුව නැහැ නේද?

පිළිතුර – ඇත්ත වශයෙන්ම ඔව්… මෙය ඉතාම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ආණ්ඩුවක්.

ප‍්‍රශ්නය – මේ ආණ්ඩුව පත්කිරීමට මුල්වීම පිළිබඳව ඔබවහන්සේට පසුතැවීමක් තිබෙනවද?

පිළිතුර – අපිව විශ්වාස කරලා තමයි මේ ආණ්ඩුවට මිනිස්සු ඡුන්දය දුන්නේ. මේ තත්ත්වයට ආණ්ඩුව පත්වීම ගැන පසුතැවීමක් තිබෙනවා. ආණ්ඩුව වහා හරි පාරට එන්න ඕන. ඇත්තටම කියනවනම් මේ ආණ්ඩුව භාරකාර ආණ්ඩුවක් තත්ත්වයට දැන් පත්වෙලා තිබෙනවා. මේ රට පාලනය කිරීමට භාරකාර මණ්ඩලයක් පත්කළ යුතුයි. ජනාධිපතිතුමාට එය කරන්න පුළුවන්. එතුමාට නිවැරැදි වෙන්න මේ හරහා අවස්ථාවක් තිබෙනවා.

ප‍්‍රශ්නය – ආණ්ඩුව මේ තත්ත්වයට පත්වීමට වගකියන්න ඕන කවුරුන් කියලද ඔබවහන්සේ හිතන්නේ?

පිළිතුර – මේ තත්ත්වයට සියයට 99 ක් වගකියන්න ඕන අගමැතිතුමා සහ එතුමා වටා ඉන්න පිරිසයි. ජනාධිපතිතුමාව අපි බලයට පත් කළාට එතුමා දැන් කටයුතු කරන්නේ උත්සව සැරසිල්ලක් ගාණටයි. ජනතාව රට භාර දුන්නේ එතුමාට නම් රට හරි මඟට ගන්නත් ඕන එතුමාම තමයි.

ප‍්‍රශ්නය – ඔබවහන්සේ මීට පෙර අදහස් දැක්වීමේදී සඳහන් කළේ අලූත් ආණ්ඩුවක් යටතේ ජාතික ප‍්‍රතිපත්ති සභාව පිහිටුවා රට හරි මගට ගෙන යන බවයි. අලූත් ආණ්ඩුවක් හදන්න සුදුසු නායකය කවුරුන් කියලද ඔබවහන්සේ කියන්නේ?

පිළිතුර – අපේ දේශපාලන වැඩසටහන පුද්ගලයකු ඉලක්ක කරගෙන නැහැ.

ප‍්‍රශ්නය – ඔබවහන්සේ සිංගප්පූරු ගිවිසුමට විරුද්ධත්වය ප‍්‍රකාශ කර තිබුණා. එයට ඔබවහන්සේ විරුද්ධ වන්නේ ඇයි?

පිළිතුර – එය කැබිනට් එකට ඉදිරිපත් කරල තිබුණ විදිහම

වැරැදියි. එ.ජා.ප. යේ අයවත් ඒ ගැන දන්නේ නැහැ. ශී‍්‍රල.නි.ප. අය දන්නෙත් නැහැ. මෙය කැබිනට් එකට ඉදිරිපත් කරලා තිබෙන්නේ ඉංගී‍්‍රසි බසින්. එය කැබිනෙට්ටුවේ සම්මත වුණේ යැයි කිව්වත් එය සම්මත වී නැහැ. මේ ගිවිසුමෙන් රටේ ආරක්‍ෂාවට තර්ජනයක් වෙනවා. එසේම පාරිසරික අර්බුදයක් ඇතිවනවා. දේශීය ව්‍යාපාරිකයෝ අර්බුදයකට ලක්වෙනවා. ගොවි ජනතාවගේ නිෂ්පාදනයන්ට ප‍්‍රශ්නයක් ඇතිවෙනවා. ලංකාවේ ශ‍්‍රම වෙළෙඳපොළට ගැටලූවක් මෙමගින් ඇති වෙනවා. මේ ගිවිසුම අත්සන් කිරීම තුළින් අපට පේන්නේ මේ ආණ්ඩුවේ අයට මේ රටේ ලස්සන පේන්නේ නැති බවයි. රට ගැන හැඟීමක් නැතුවයි මොවුන් මේ ගිවිසුම අත්සන් කරලා තිබෙන්නේ.

ප‍්‍රශ්නය – වස විසෙන් තොර ගොවිතැන ගැන පසුගිය සමයේ ලොකු කතාබහක් තිබුණා. නමුත් දැන් එවැනි තත්ත්වයක් දක්නට නැහැ. මෙහි වත්මන් තත්ත්වය කෙසේද?

පිළිතුර – වස විස නැති ගොවිතැන පිළිබඳ ආණ්ඩුවේ කිසි කෙනෙක් බරපතළ ලෙස ගත්තේ නැහැ. අපි ජනතාව තුළ මේ පිළිබඳ ලොකු පෙලඹවීමක් කළා. මුල් අවුරුද්ද තුළ මෙය ඉදිරියට යන්න ජනාධිපතිතුමාගෙන් විශාල පෙලඹවීමක් සිදුවුණා. නමුත් ඇමැතිවරුන්ගෙන් ඇතුළු අනෙක් වගකිවයුතු අයගෙන් සහයක් ලැබුණේ නැහැ. අපි වස විසෙන් තොර ගොවිතැන අක්කර 20000 ක පමණ අද වන විට සාර්ථකව අත්හදා බලා තිබෙනවා. ගොවියන් 25000 ක් පමණ අප යටතේ ලියාපදිංචි වෙලා සිටිනවා. ආණ්ඩුව හිටියත් නැතත් අපි මේ වැඩසටහන ඉදිරියට ගෙන යනවා.

ප‍්‍රශ්නය – රතන හිමියන් සමුපකාර ව්‍යාපාරයත් සමග කටයුතු කරන බව දකින්නට තිබෙනවා. සමුපකාර ව්‍යාපාරයේ රැස්වීකට ඔබවහන්සේ එක්ව තිබුණා. එම රැස්වීම කුමක්ද?

පිළිතුර – සමුපකාර ව්‍යාපාරයේ එදා රැස්වීමට බත් පැකට් නොදී සල්ලි නොදී ලක්‍ෂ ගාණක් සෙනඟ ආවා. සමුපකාර ව්‍යාපාරය ගොඩනගපු නන්දසිරි ගමගේ මහතා දුගියන් නඟාසිටුවන්න විශාල වැඩ කොටසක් කළ කෙනෙක්. රටේ මේ වසර පනහ තුළ පහළ වූ නිර්මාණාත්මක සමාජවාදියා තමයි එතුමා. එතුමා හදපු අත්තිවාරම යටතේ තිරසර සංවර්ධන තුළින් අපිට අපේම ආණ්ඩුවක් ගොඩනැඟීමයි අපි එදා කිව්වේ. සියලූ සංවිධාන එක තැනකට ගොනුවී ආණ්ඩුව මොන පිස්සුව කළත් රට හරි තැනකට ගෙනියන්න අපේම ආණ්ඩුවක් හැදීමයි අපේ බලාපොරොත්තුව.

– divaina