gossip lanka

FCID නිසා නඩුවලට පැටලුණු අයට වන්දි ගතහැකියි හිටපු අගවිනිසුරු - සරත් එන්. සිල්වා

මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය (FCID) නීති විරෝධී ආයතනයක් බව නීතියෙන් අනිවාර්යයෙන්ම ඔප්පු වන බවත් ඉන් අනතුරුව FCID නිසා බන්ධනාගාර ගතවූවන්ට හා එම ආයතනයේ ප්‍රශ්න කිරීම්වලට ලක් වූ සියලුම දෙනාට වන්දි ලබාගත හැකි බවත් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා  ප්‍රකාශ කළේය.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109 වැනි වගන්තිය යටතේ මුල් පැමිණිල්ල
පොලිසිය විසින් භාරගත යුත්තේ ඉතා වගකීමෙන් බවත් FCID ආයතනයට තෝරා බේරා පැමිණිලි යොමුකර ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ පැවැති ඒකකයක් විසින් බවත් ජ්ඛ්ධ්ච් ආයතනයට පැමිණිලි ඉදිරිපත් කරන ක්‍රමවේදයම බරපතළ ලෙස නීතිය අභියෝගයට ලක්කර තිබෙන බවත් හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙයි.

දැනට සිදුකෙරෙන නඩු විභාගවලදී FCID වෙත ඉදිරිපත් කර තිබෙන පැමිණිලි හා සාක්ෂිකරුවන්ගෙන් ලබාගෙන තිබෙන ප්‍රකාශවල ප්‍රබල සැකයන් හා ප්‍රබල පරස්පරතාවන් පෙන්නුම් කෙරෙන බවත් ඇතැම් පැමිණිලි නිර්නාමිකවත් බොහෝ පැමිණිලි දේශපාලන පළිගැනීම් සඳහා ඉදිරිපත් කර තිබෙන බව ඉතා හොඳින් පෙනෙන්නට තිබෙන බවත් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කරයි.

පොලිස් ආඥා පනතේ 55 වැනි වගන්තිය අනුව FCID ආයතනය පොලිස්පතිවරයා විසින් පිහිටුවා තිබෙන්නේ වංචා සහගත ලෙස බවත් 55 වැනි වගන්තියෙන් පොලිස්පතිට බලය ලබාදී තිබෙන්නේ පොලිස් නිල නිවාස වර්ගීකරණය කිරීමට සහ විනය කඩකරන පොලිස් නිලධාරීන්ට රුපියල් 50ක දඩයක් නියම කිරීමට පමණක් බවද හිටපු අගවිනිසුරුවරයා සඳහන් කරයි. එම නිසා FCID ආයතනය නීති විරෝධී බව සඳහන් කරමින් අභියාචනාධිකරණයේ සහ ශේ‍ර්ෂ්ඨාධිකරණයේ නඩු කිහිපයක් පවරා තිබෙන බවත් මෙම නඩු තීන්දු ප්‍රමාද නොකර ඒවායේ තීන්දු කඩිනමින් ප්‍රකාශ කිරීම පිළිබඳව රටේම අවධානය යොමු වී තිබෙන බවත් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කළේය.

නීති විරෝධී විමර්ශන පදනම් කරගෙන නීතිපති තම සුවිශේෂී බලය උපයෝගී කරගනිමින් අධිචෝදනා ඍජුවම මහාධිකරණයට යොමු කිරීමෙන් එම තැනැත්තන්ට සිදුවී ඇති අයුක්තිය තවදුරටත් උග්‍ර වී ඇති අතර එයටත් වන්දි ලබාදිය යුතු බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

- මව්බිම