gossip lanka

දුරු කතර ගෙවා ඇවිද ගොස් සිංහලෙන් අකුරු කරන ද්‍රවිඩ දරුවන්

එකම රටේ ඇතමකු තම නිවෙසේ සිටම පාසලට සුඛෝපභෝගී රථවාහනවලින් ගමන් කර ඉතාමත් සුන්දර පාසල් වියක් ගත කරද්දී තවත් දරුවන් පිරිසකට ඉතාමත් රළු මාවත්වල පා ගමනින් ගමන් කර තමන් නොදන්නා වෙනත් භාෂාවකින් අධ්‍යාපනය ලැබීමට සිදුව ඇත.

ඒ බව අපට පසක් වූයේ පසුගිය 1දා දෝතල්ඔය වත්තේ උඩකොටසේ අක්කර 50 ඩිවිෂණයේදී අපට හමු වූ පාසල් දරුවන් කිහිප දෙනෙකු දැකීමෙනි.
ඔවුහු කලේ සෙල්වම්, ජනනි ශාලනී, සූරිය ප්‍රභා, දේවයානි, කවිදා, සූරියකලා යන නම්වලින් හැඳින්වෙති.

අලුයම 6.30ට පමණ නිවෙස්වලින් පිටත් වන මේ දරුවන් පෙරවරු 8.00 පමණ වන විට පාසලට ළඟා වේ. මෙම දරුවන් අපට හමුවන විට පස්වරු 3.00ත් පසු වී තිබිණි. තේ වතු මැදින් පැන දුවමින් කිලෝමීටර් 7ක් පමණ පයින් ගමන් කර මෙම දරුවන් අක්කර 50හි පිහිටි තම නිවෙස් වෙත ළඟා විය යුතුව ඇත.

අද දිනයේ විභාගය පැවැති බැවින් පාසල පස්වරු 1.00ට පමණ ඇරුණු බව එම දරුවන් අප සමඟ පැවැසීය. ඒ අනුව අපට හමුවන විට පැය දෙකක් පමණ මේ දරුවන් තේ වතු මැදින් පා ගමනින් ගමන් කර තිබූ අතර එතැන් සිට ඔවුන්ගේ නිවෙස් වෙත යෑමට තවත් කිලෝමීටරයක් පමණ යා යුතු විය. වෙනත් පාසල් දරුවන් පාසල ඇරී පෞද්ගලික පන්තිවලටද සහභාගි වී නිවෙස් කරා යන වෙලාවට මෙම දරුවන්ට පාසල් ඇරී නිවෙස් වෙත යෑමට සිදුව ඇත.

මෙහි පවත්නා අනෙක් ඛේදවාචකය නම් පයින් කිලෝමීටර් 7ක් ඇවිද ගොස් යන පාසලේදීද ඔවුන්ට අධ්‍යාපනය ලැබීමට සිදුව ඇත්තේ තම මවුබසින් නොවීමයි.

මේ දරුවන් යන පාසල වන්නේ කෑ/දෙහි/කැකනපන කනිෂ්ඨ විද්‍යාලයයි. අරණායක ජීවත් වන දරුවන් පාසල් යනුයේ දෙහිඕවිට කලාපයේ පාසලකටය. එහිදීද අධ්‍යාපනය ලබා දෙනුයේ සිංහල මාධ්‍යයෙනි. දෝතල්ඔය වත්තේ ජනතාවගෙන් සියයට 90කට වැඩි පිරිසක්ම වතු ද්‍රවිඩ ජනතාවයි. එම දරුවන්ට අධ්‍යාපනය ලැබීමට දෝතල්ඔය වත්තේ පාසලක් නොමැති වීම නිසා මෙම දරුවන් මෙපමණ දුරක් ගෙවා ඉහත පාසලට යෑමට සිදුව ඇත. මෙම දුර, මාර්ග භාවිත කර ගියහොත් තවත් කිලෝමීටර් පහක් හයක් වැඩිවනු ඇති බවට ප්‍රදේශවාසීහු අප සමඟ පැවැසූහ. මාර්ගය දැඩිව අබලන් වීම හා කිසිදු වාහනයක් ගමන් නොකිරීම නිසා එසේ යෑමට වුවද මෙම දරුවන්ට හැකියාවක් නැත.

(මවිබිම ඇසුරින්)