නිමල් සිරිපාලට පුළුවන් දිනේෂ්ට බැරි විපක්ෂ නායක ධූරය.. කතානායකගේ අපූරු ලොජික්..

පිවිතුරු හෙල උරුමය පක්‍ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

විපක්ෂනායක ධූරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදෙන්නැයි අප ඉල්ලීමක්
කරලා කතානායකතුමා ඊයේ දින ඒ පිළිබඳ තීන්දුවක් ලබාදීමට නියමිතයි.   විපක්ෂ නායක ධූරය ඒකාබද්ධ විපක්ෂයට ඉල්ලන්නේ හේතු දෙකක් මතයි.  පළමු හේතුව දේශපාලනිකයි.  වත්මන් විපක්ෂ නායක සම්බන්දන් මහතාත් දෙමළ ජාතික සංධානයත් ආණ්ඩුවේ සෑම මර්දනකාරි පනතකටම අත ඔසවමින් බදු පිට බදු ගැසූ සෑම අයවැයකටම සහය පළ කරමින් හැසිරෙන්නේ ආණ්ඩුවේ වලිගයක් එහෙමත් නැතිනම් හීලෑ විපක්ෂයක් ලෙසයි.  සැබෑ විපක්ෂයේ කාර්යභාරය ඉටු කලේ ඒකාබද්ධ විපක්ෂයයි.  දෙවන හේතුව නම් සරල අංක ගණිතයයි.  දෙමළ ජාතික සංධානයට මන්ත්‍රිවරුන් 16ක් සිටින විට අපට 70ක් ඉන්නවා. 16 වඩා 70 ලොකු බව කතානායකතුමා දන්නේ නැති වුණාට දෙකේ පන්තියේ දරුවෙකු වුණත් දන්නවා.

අපට විපක්ෂ නායක ධූරය ලබා දීම ප්‍රතික්‍ෂේප කරන්නේ සංධානයෙන් පත් වුණු මන්ත්‍රිවරුන් 25ක් ආණ්ඩුවේ ඉන්නා බව පෙන්වමින්.  එතැනත් අර අංක ගණිත ප්‍රශ්නය එනවා. 25 වගේ තුන් ගුණයක් 70 ලොකු නම් සංධානය සැලකිය යුත්තේ විපක්ෂයේ පක්ෂයක් ලෙස මිස ආණ්ඩුවේ පක්ෂයක් ලෙස නොවේ.

ඒ වගේම 2015 ජනවාරි සිට ජූනි දක්වා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය දැරුවේ නිමල් සිරිපාල මැතිතුමා.  එතුමා විපක්ෂ නායක ධූරයේ කටයුතු කරන අතරේ සංධානයේ මන්ත්‍රිවරුන් දින සීය ආණ්ඩුවේ ඇමති ධූර දැරුවා. සන්ධානයේ ඇමතිවරු සිටින අතරේ නිමල්  සිරිපාල ඇමතිතුමාට හොඳ විපක්ෂ නායක ධූරය දිනේෂ්  ගුණවර්ධන මැතිතුමාට නරක වෙන්නේ කෙසේදැයි ආණ්ඩුවේ මැති ඇමතිවරු රටට පැහැදිලි කළ යුතුයි.

මේ අතරේ  මහින්ද අමරවීර ඇමතිතුමා විපක්ෂ නායක ධූරයට මගේ නමත් යෝජනා කරලා.  දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට විපක්ෂ නායක ධූරය ලබා දෙන්න කියා කතානායකතුමාගෙන් ඉල්ලා සිටි මන්ත්‍රිවරුන් අටදෙනා අතරේ මමත් ඉන්නවා.  විපක්ෂ නායක ධූරය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට ලබා දිය යුතු බව අපේ කණ්ඩායම ඒකමතිකව තීරණය කරලා තිබෙනවා.  විපක්ෂ නායක තෝරන වැඩේ ආණ්ඩුව කරන්න ඕනෑ නෑ. ඒ නිසා අපි අතර භේද ඇති කිරීමේ අරමුණින් අපේ නම් යෝජනා කරනවා වෙනුවට ඔවුන් සිදුකළ යුත්තේ විපක්ෂනායකධූරය අපට බාර දීමයි. පත් කළ යුත්තේ කවුදැයි කියන එක අප බොහොම සමගියෙන් ඒකමතිකව දැනටමත් තීරණය කර හමාරයි.