සම්පන්දන්ගෙයි-සේනාධිරාජාගෙයි පුරවැසිභාවය අහෝසි කරන්න - ආනන්ද සංගරී

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් හා ඉලංගෙයි තමිල් අරසු පක්‍ෂයේ නායක මාවෙයි සේනාධිරාජා යන මහත්වරුන්ගේ පුරවැසි භාවය අහෝසි කළ යුතු බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී මහතා පවසයි.

දේශද්‍රෝහී චෝදනාව යටතේ ඔවුන්ට එරෙහිව විමර්ශන සිදු කළ යුතු බව
ද කියා තිබේ.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත.

2004 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය හැසිරුණු ආකාරය පිළිබඳව සංගරී මහතා මෙහි දැඩි ලෙස විවේචනය කොට තිබේ.එහි වැඩිදුරටත් මෙසේ ද සඳහන් කර තිබේ.

2004 මැතිවරණයේදී ඉලංගෙයි තමිල් අරසු කච්චි දෙමළ ජාතික සන්ධානයේ නම අවභාවිත කොට ඇත. එල්.ටී.ටී.ඊ. සංවිධානය දෙමළ ජනතාවගේ දේශීයත්වය හා දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කොට තිබිණි.

2004 මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට විශිෂ්ට ජයක් හිමිවිය. ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් වාහන 100ක් ලබා දී තිබිණි. ඒවායින් වාහන 50ක්ම අංක තහඩු නොමැති වාහන විය.

එම මැතිවරණයේදී පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අයිස්ක්‍රීම් ලබා දී රැවටූ අතර ඔවුන් ලවා දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් හොර ඡන්ද දැමීමක් සිදුකරනු ලැබිණි.
පසුගිය දිනක හිටපු ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය විවාදාත්මක වුවත් ඇයගේ ප්‍රකාශය දැඩි ලෙස හැඟීම්බර වීමෙන් පැවැසූවක් බව කිව යුතුය. තවද හය හැවිරිදි දැරියක් ඝාතනය වීම හේතුවෙන් ඇති වූ ආවේගය මත ඇය එම ප්‍රකාශය සිදු කළා විය හැකිය.

සම්පන්දන් හා මාවෙයි යන මහත්වරුන් ඉතා උඩඟු බව පැවැසිය යුතුය. ඔවුන් 2004 වසරේ සිට මේ වනතෙක් කළ දේවල් පිළිබඳව සොයා බැලිය යුතුව තිබේ. රටේ ඒකීය භාවය රැකීමට දිවුරුම් දී විජයකලා මහත්මිය කළ ප්‍රකාශය වරදක් වන්නේ නම් දෙමළ ජනතාවගේ එකම නායකත්වය එල්.ටී.ටී.ඊ. සංවිධානය බව ප්‍රකාශ කොට මැතිවරණයද ජයග්‍රහණය කොට රටේ ඒකීය භාවය රැකීමට සම්පන්දන් මහතාත් මාවෙයි සේනාධිරාජා මහතාත් දිවුරුම් දෙනු ලැබුවේ කෙසේද?

2004 මහ මැතිවරණය අවසන්ව බොහෝ කාලයක් ගත වුණද ඒ පිළිබඳව විමර්ශනය කොට ඔවුන්ගේ මන්ත්‍රි ධුර අහෝසි කළ යුතුව තිබේ. එමෙන්ම ඔවුන්ගේ පුරවැසි භාවය අහෝසි කොට ඔවුන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ යුතුය.