විමල් ජනපති කාඩ්බෝඩ් වීරයෙක් කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‘ප‍්‍රවෘත්ති බුල්ටෝ’ නිර්මාණය කරමින් කාඩ්බෝඩ් වීරයකු වීමට උත්සහ දරන බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

මත්තල විකිණීම, රුපියල අවප‍්‍රමාණය වීම, මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැඩි වීම වැනි තමන්ට අවාසිදායක ප‍්‍රවෘත්ති යට ගැසීම සඳහා ආණ්ඩුව, ‘මරණ
දඬුවම ක‍්‍රියාත්මක කිරීම, මැතිඇමති වැටුප් වැඩිවීම’ වැනි ‘ප‍්‍රවෘත්ති බුල්ටෝ’ නිර්මාණය කරමින් සිටින බවත් එවැනි ප‍්‍රවෘත්තිවලින් ජනාධිපතිවරයාට කාඩ්බෝඩ් වීරයකු වීමට හැකි වුවත් රටටත් ජනතාවටත් සත 05ක ප‍්‍රතිඵලයක් නොලැබෙන බැවින් එම ‘ප‍්‍රවෘත්ති බුල්ටෝ’ හැපීමෙන් වැළකී සිටින ලෙසටද හෙතෙම අනතුරු අඟවයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ ඊයේ ( 05) දා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

"දැන් තවත් ලණුවක් දී තිබෙනවා. ඒ තමයි ‘මැති ඇමතිවරුන්ගේ වැටුප 215%කින් ඉහළ දමනු ලැබේ’ කියන ප‍්‍රවෘත්තිය. දැන් ආණ්ඩුවේ එක කොටසක් මේකට විරුද්ධයි. තවත් කොටසක් පක්ෂයි. ඒ සංවාදයට දැන් පත්තරවල, විද්‍යුත් මාධ්‍යවල ඉඩ වෙන් වෙනවා. ඔන්න දවසක් දෙකක් ගියාම ජනාධිපති කියනවා, ‘මම එක සත පහකින් මැතිඇමතිවරුන්ගේ පඩි වැඩි වෙන්න දෙන්නේ නැහැ’ කියලා. තමන්ගේ ආණ්ඩුවට වැරදි වැඩක් කරන්න දීලා පස්සේ ‘මම ඒක කරන්න දෙන්නේ නැහැ’ කියලා මිසක් වෙන මොනවා කරලා සිරිසේන මහත්තයා කාඩ්බෝඩ් වීරයකු වෙන්න ද? දැන් මේ ආණ්ඩුව සිරිසේන මහත්තයාට කාඩ්බෝඩ් වීරයාගේ චරිතයට පණ පෙවීම සඳහා ඉඩ හදන්න එක එක මාතෘකා නිර්මාණය කරමින් සිටිනවා. ‘වැඩි කරනවා’ කියන්නෙත් මේ ආණ්ඩුව, ‘සත පහක් වැඩි කරන්න දෙන්නෙ නැහැ’ කියන්නෙත් මේ ආණ්ඩුව. නඩුත් ආණ්ඩුවේ - බඩුත් ආණ්ඩුවේ".

"මේවාට කියන්නේ ‘ප‍්‍රවෘත්ති බුල්ටෝ’ කියලා. දැන් සමහරු මේවා හපමින් කාලය ගත කරනවා. මේක හරියට සාජන්ට් නල්ලතම්බිට සිදු වුණු දේ වගේ. ඔබට මතක ඇති එදා සාජන්ට් නල්ලතම්බි චරිතයට පණ දුන් නිහාල් සිල්වාට වෙඩි තැබුවේ ආණ්ඩුවෙන්, ඒ වගේම රාජ්‍ය ගෞරව සහිතව ආදාහනය කළෙත් ආණ්ඩුවෙන්. මේ ආණ්ඩුවත් අද කරමින් ඉන්නේ එවැනි දෙයක්. මෙවැනි ආණ්ඩුවක් අපේ අම්මා මුත්තා කාලෙවත් දැකලා නැහැ"

මෙම මාධ්‍ය හමුවට කඩුවෙල මහ නගර සභාවේ මන්ත‍්‍රී ශෂී පෙරේරා මහතා ද එක්ව සිටියේය.