‘‘ජනබලය කොළඹට’’ රැළිය ගැන කතා කරමින් නාමල් සමාව අයදියි

‘‘ජනබලය කොළඹට’’ විරෝධතාව ඉදිරියේදී ද අඛණ්ඩව සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මෙරට බොහෝ දෙනෙකු වෙනසක් අපේක්ෂාවෙන් සිටින බව ඊයේ (05) රැළියෙන් මනාව පැහැදිළි වූ බවයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ජනතා නායකයින් පත් කර ගන්නා තුරු සටන අඛණ්ඩව
සිදු කරන බවයි නාමල් රාජපක්ෂ පවසන්නේ. ඊයේ පැවති විරෝධතාව හේතුවෙන් කිසියම් පුද්ගලයෙකුට ගැටළුවක් හෝ කරදරයක් සිදුවූයේ නම් තමා සමාව අයැද සිටින බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළා. ඒ, සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

කෙසේ වෙතත් ජනබලය කොළඹට විරෝධතාව සම්බන්ධයෙන් විවිධ පාර්ශව මේ වනවිට පල කරන්නේ විවිධ අදහස්.  ඒ පිළිබද සොයා බැලීමක් සිදු කළා එහිදී රැළිය සාර්ථක වූ බවයි ඒකාබද්ධ විපක්ෂය පවසන්නේ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියල් නිශාන්ත කියා සිටියේ දේශපාලන ඉතිහාසයේ ආණ්ඩුවට එරෙහිව සිදු වූ දැවැන්තම විරෝධතාව මෙය බවයි.

එහිදී "අපි පැදුරටත් නොකියා ගියේ නෑ..සිද්ධ වුණේ අපි බලාපොරොත්තු වෙච්ච වැඩසටහන් සියල්ලම ක්‍රියාත්මක කරන්න පුළුවන් හැකියාව ලැබුණා." යනුවෙන්ද සඳහන් කළා.

මේ අතර මීළග ජනබලය මහනුවරින් ආරම්භ කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේ ඊයේ දහවල් 12.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා කොළඹ නගරයේ කටයුතු අඩාලව පැවැති බවයි