gossip lanka

අනුරාධපුරේ කොටසක ගස් කපා ඩෝසර් කරයි

අනුරාධපුර මහ නගර සභාවේ දේශපාලන අධිකාරියේ හිතවතුන්ට බෙදාදීම සඳහා එම නගරයේ අලංකාරම භූමි භාගය ලෙස සැලකෙන මහජන ක්‍රීඩාංගණය පිටුපස තුරුලිය කොටසේ පිඹුරුපත් සකස් කොට එහි එක් කොටසක් පෙරේදා (04 දා ) දින ඩෝසර් කළ බව අනුරාධපුර දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ නිලධාරීන් පවසයි.

අනුරාධපුර මහ නගර සභාවේ පාලකයන් ඔවුන්ගේ හිතවතුන්ට කඩ කිහිපයක් අටවා දීමට මෙම ස්ථානය
ඩෝසර් යොදා සුද්ද පවිත්‍ර කළ බවත් අනුරාධපුර වෙළෙඳ සංගමයේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය සමයේ පාඨලි චම්පික රණවක අමාත්‍යවරයාගෙන් මෙම ස්ථානයේ කාර්යාලයක් ඉදිකිරීම සඳහා ලබාදෙන ලෙස ඉල්ලීම් කර තිබෙන බවත් ඔවුහු අනාවරණය කළහ.

පසුගිය දශක කීපය තිස්සේ අනුරාධපුර මහ නගර සභාව පාලනය කළ දේශපාලන අධිකාරිය අනුරාධපුර නගරයේ සෑම බිම් අඟලක්ම විනාශ කරමින් නගරය මහා ව්‍යසනයකට ඇද දමා සිය හිතවතුන්ට බෙදා දෙමින් දේශපාලන වාසි ලබාගත් බව ඔවුන් පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ නිලධාරීන් පිරිසක්,

"නගරයේ ජනතාවට කවදහරි හුස්ම ගන්න වෙන්නේ ඔක්සිජන් ටැංකි පිටේ බැඳගෙන. මේ නගර සභාවේ අමන පාලකයෝ නගරයේ සියලුම ගහ කොළ කප කපා හිතවතුන්ට කඩ සාප්පු අටවනවා. දැන් මල් කඩ වගයක් දාන්න මේ ස්ථානයේ තියෙන ගස් ටික කපනවා කියලා දැන ගන්න ලැබුණා. අනුරාධපුර නගරයේ තියෙන ලස්සනම ස්ථානය. විඩාවට පත්වන අයකුට සිසිල් සුළං ටිකක් ඇඟේ වැදෙන්න ඉන්න පුළුවන් තැන".

"නමුත් ඔන්න එතැනටත් බැල්ම වැටිලා ඩෝසරය දාලා හානවා. පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ අනුරාධපුර මහ නගර සභාවේ පාලකවරයා මේකේ කොටසක ගස් ටික කපලා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් හැදුවා. එපා කියද්දී හිටපු උතුරුමැද පළාත් සභාවේ මහ ඇමතිවරයකු තව කොටසක් ළදරු පාසලකට දුන්නා. දැන් ඉතුරු වෙලා තියෙන ඉඩම් කෑල්ල දකිද්දී නගර සභාවේ පාලකයන්ට නළියනවා' යනුවෙන් ඔහු පැවසුවේය.

මෙහිදී සුද්ද පවිත්‍ර කරනවා නම් නිකරුණේ ගස්වල මුල් ගලවන්න අවශ්‍ය නොමැති නමුත් නාගරික කොමසාරිස්වරයා සහ සේවකයන් එක්ව ඒ මුල්ද ගලවන්න සූදානම්ව ඇත. කෙසෙ නමුත් මෙම නිලධාරීන් එය වළක්වා තිබේ. ඔවුන් පවසා සිටින්නේ මෙහි කිසිම කඩයක් දමන්න නොදෙන බවයි. එමෙන්ම මේ භූමියේ ගස් සිටුවා කම්බි වැටක් ගසන බවත් "නගර සභාව සතු ඉඩමක්" යැයි පුවරුවක් සවිකරන බවත් ඔවුන් කියා සිටී.