පොලිස්පති පූජිත තක්කඩි පට්ට හොරෙක්.. පොලිස් ඉතිහාසයේ ලොකුම දුෂිතයා ඔහුයි.. හැකිනම් මට අපහාස නඩු දමනු..

ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුව හා එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

පූජිත ජයසුන්දර කියන්නේ තක්කඩි හොරෙක්. මම එය ඉතා බය නැතුව කියනවා.  පුලුවන්නම් මට විරුද්ධව අපහාසයට නඩු දමන්න කියාත් කියනවා.  එවිට මම මා එම ස්ථාවරයට
පැමිණීමට බලපෑ සියලු කාරණා උසාවියට රැගෙන ඒමට සූදානම්. හොරෙක් පොලිස්පති උනාම හොරා පොලිස් වෙනවා. ඒ නිසා පොලිස්පතිවරයා ඉවත් කිරීමකින් තොරව පොලීසිය නිවැරදි කිරීමට පොලිස් කොමිසමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

පොලිස් කොමිසම විසින් ලබාදෙන තීන්දු පොලිස්පතිවරයා විසින් ක්‍රියාත්මක කරන්නේ නැහැ. පොලිස් කොමිසම අඩාගෙන ගිහිල්ලා  කථානායකතුමන්ට කියනවා පොලිස්පති අපි කියන දේ අහන්නෙ නැහැ කියලා. කතානායකතුමා අයියයි මල්ලියි රන්ඩු උනහම අම්මා නඩු බේරෙනවා වගේ දෙදෙනාවම ගෙනල්ලා අනේ ඔහොම රණ්ඩු වෙන්න එපා යැයි පවසනවා. නමුත් කථානායකතුමාට  ව්‍යවස්ථාවෙන් කිසිම බලයක් ලබාදී නැහැ. පොලිස්පතිවරයා පොලිස් කොමිසමත් අතර ඇතිවන ප්‍රශ්න විසඳන්න. පොලිස්පතිවරයා කොන්දේසි විරහිතව පොලිස් කොමිසම විසින් ලබාදෙන සෑම නියෝගයක්ම ක්‍රියාත්මක කළ යුතුයි. එසේ නොකරනවා නම් පොලිස් කොමිසම අභියාචනා අධිකරණයට ගොස් පොලිස්පතිට එරෙහිව රිට් නියෝගයක් ලබාගත යුතුයි. පොලිස්පතිවරයාගේ විනය භාරව තිබෙන්නේ පත්කරන ලද ව්‍යවස්ථාදායක සභාවට නොව පාර්ලිමේන්තුවේ අපටයි. මේ පොලිස්පති ගැන ආණ්ඩුවට ලැජ්ජා හිතෙන විදිහට රටේ ජනමතයක් ගොඩ නැගෙන්න ඕනෑ. නැතිනම් පාර්ලිමේන්තුවට ඔහු ඉවත් කිරීමේ යෝජනාවක් ගෙන ආවත් අගමැතිතුමන්ගේ විශ්වාසභංග යෝජනාවට අත්වූ ඉරණමම තමයි අත්වෙන්නේ.

මාධ්‍ය හරහා මේ පොලිස්පතිවරයාගේ දූෂිතභාවය හෙළිදරව් කිරීමෙන් ආණ්ඩුවටත් මේ කුණු ගොඩ කර තබාගෙන යාමට ලැජ්ජා හිතෙන  තත්ත්වයට පත් කළොත් විතරමයි පොලිස්පතිවරයා ඉවත් කරගෙන පොලිස් කොමිසමට තම තීන්දු තීරණ ක්‍රියාත්මක කළ හැකි වාතාවරණයක් ගොඩ නැගිය හැකි වන්නේ.ඉතාම  පැහැදිලිව කියනවා පොලිස්පති ලංකා ඉතිහාසයේ බිහිවු දූෂීතම නිළධාරියා. පට්ට හොරෙක්.

– අරවින්ද අතුකෝරල