ජාත්‍යන්තර සමුළු දෙකකට සහභාගී වීම සදහා සුව ඇමැති ඇමරිකාවට සහ ජිනීවා නුවරට

එක්සත් ජාතීන්ගේ සැසිවාරයට සමගාමීව පැවැත්වෙන ක්ෂය රෝගය මර්දනය කිරිම සහ බෝ නොවන රෝග පාලනය කිරීම පිළිබඳ ජගත් සමුළුවට සහභාගි වීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ලබන සෙනසුරාදා (22) ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ සැසිවාරයට සහභාගිවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මෙම
සමුළුවට එක්වීමට නියමිතව ඇත. ක්ෂය රෝගය පාලනය කිරිම පිළිබඳ සමුළුව ලබන 26 වැනිදා ද, බෝනොවන රෝග පාලනය කිරීම පිළිබද සමුළුව ලබන 27 වැනිදා ද පැවැත්වීමට නියමිතය. ලෝකයේ එක් එක් රටවල් ක්ෂය රෝගය සහ බෝ නොවන රෝග පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

බෝනොවන රෝග පාලනය කිරිම සඳහා රජය ගෙන ඇති වැඩපිළිවෙල පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී දේශනයක් පැවැත්වීමට ද නියමිතව තිබේ. මෙම සමුළුවෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා ස්විස්ටර්ලන්තයේ ජීනීවා නුවර පැවැත්වෙන දුම්කොළ පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ ප්‍රධාන සමුළුවට සහභාගි වීමට නියමිතව ඇත. එම සමුළුව ආරම්භ වන්නේ ඔක්තෝබර් මස 01 වැනිදායි.

දුම්කොළ පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ සඳහන් කොන්දේසි 06 ඉටු කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වනවිට සියලු පියවර ගෙන ඇත. එම කොන්දේසිවලින් තනි සිගරට්ටුව අලෙවි කිරීම තහනම් කිරීමේ කොන්දේසිය හැර අනෙකුත් සියලුම කොන්දේසි ඉටු කර ඇති අතර, ඒ පිළිබඳව ජගත් ප්‍රජාව දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී බලාපොරොත්තු වෙයි.

සිගරැට් පැකට් තුල රූපමය අවවාද සියයට 80 දක්වා වැඩි කිරීම, දුම්කොළ බදු සියයට 90 දක්වා වැඩි කිරිම, දුම්වැටි දැන්වීම් තහනම් කිරීම, ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය තහනම් කිරීම, ගොඩනැගිලිවල දුම්බොන කලාප සැකසීම, දුම්කොළ වගාව වෙනුවට වෙනත් බෝග වගා ගොවීන්ට හඳන්වා දීම එම කරුණු අතර වේ. ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යවරයා දුම්වැටි පැකට්ටුව ප්ලෙන් පැකේජින් ක්‍රමයට වෙළෙඳපොලට හදුන්වා දීම සඳහා වූ නීති-රීති ද ගෙනඒමට නියමිතය. දුම්කොල පාලනය කිරීම සඳහා වූ ප්‍රඥප්තියට අනුව කොන්දේසිවලින් සියයට 90 ක් පමණ නීතිගත කර ඇති අග්නිදිග ආසියා කලාපයේ එකම රට ශ්‍රී ලංකාව වෙයි. නීතිවිරෝධී සිගරට් ආනයනය තහනම් කිරීමේ ප්‍රඥප්තියට ද ශ්‍රී ලංකාව අත්සන් කර ඇත. අග්නිදිග ආසියානු රටවලින් එම ප්‍රඥප්තියට අත්සන් කළ ප්‍රථම රට ශ්‍රී ලංකාව වීම ද විශේෂත්වයක් වෙයි.