gossip lanka

2030 දක්වා එජාප නායකත්වයේ සිටින බවට රනිල්ගෙන් ඉඟියක්

එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සර සැමරුම අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වුණා.

ඒ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

රනිල් වික්‍රමසිංහ 1994 වසරේ දී පක්ෂ නායකත්වයට පත් වූ අතර එක්සත්
ජාතික පක්ෂයේ වැඩිම කාලයක් නායකත්වය දරණ පුද්ගලයා ලෙස ද ඔහු සැළකෙනවා.

ඔහු පක්ෂ නායකත්වයට පත්වී මේවන විට වසර 24ක් ගත වී අවසන්.

මේ අතර ඔහු අද දින සිදු කළ කතාවෙහි සඳහන් වූ දෙයක් පිළිබඳව පාක්ෂිකයින්ගේ දැඩි අවධානය යොමුව ඇති බව වාර්තා වෙනවා.

සංවත්සරය අමතමින් ඔහු ප්‍රකාශ කළේ 2025 වසරේ දී හොඳ රටක් නිර්මාණය කිරීමට සැළසුම් කර ඇති බවයි.

එමෙන්ම 2030 වසර තෙක් ගමන් කළ යුතු බව ද ඔහු පැවසුවා.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ මීලඟ නායක පරපුර වර්තමානයේ සකසමින් යන බවයි.

කෙසේවෙතත් එම නායකත්ව පරපුර සිතිය යුත්තේ 2030 වසර ගැන බවයි රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේ.

එජාප නායකයාගේ මෙම ප්‍රකාශය, තමන් 2030 දක්වා අසුන හැර නොයන බවට වූ ඉඟි කිරීමක් බව ඇතැම් පාක්ෂිකයන් සමාජ මාධ්‍ය තුළ පවා සටහන් තබා තිබෙනවා.

නව නායකත්ව පරපුරට පක්ෂය භාර දීමට කටයුතු කරන බවට රනිල් වික්‍රමසිංහ පසුගිය විශ්වාසභංග සමයේ දී ප්‍රකාශ කළා.