පොලිස්පතිවරයා කට වහාගෙන සිටියා නම් හොඳයි

ආණ්ඩුව බලයට පත්වපළමු වසර තුළදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදුනොකිරීම තුළින් වර්තමානයේදී එම කාර්ය සාර්ථක වේ යැයි සිතිය නොහැකි බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් ප්‍රකාශ කළේය.

නව ආණ්ඩුව බලයට පත්ව වසරක් තුළදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
සංශෝධනය සිදුකළ යුතු වූ නමුත් එය මේ දක්වා සිදු නොකිරීම තුළින් එය සාර්ථක වේ යැයි සිතීම නිශ්චිත නොවන බව මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවැසීය.

ශේ්‍රෂ්ඨාධිකරණයේ මතය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි කී අමාත්‍යවරයා තවදුරටත් මෙසේද කීය.

රටේ නීතිය හා සාමය සුරක්‍ෂිත කිරීම සඳහා පොලිසිය අවශ්‍යයි. ඒ සඳහා ශක්තිමත් නායකත්වයක් අවශ්‍යයි. නායකත්වයට පත්වන අයට විවිධ කාලවලදී විවිධ චෝදනා එල්ල වෙනවා. ඒ පිළිබඳව අවශ්‍ය කටයුතු විෂය භාර අමාත්‍යාංශය සිදු කරාවි. පොලිස්පතිවරයාගේ දක්‍ෂකමේ කිසිම අඩුවක් නැහැ. ඔහු තැන තැන ගිහිල්ලා කතා කිරීම තුළයි ප්‍රශ්න ඇතිවෙන්නේ. ඉන් වැළකී සිටිනවා නම් වඩා හොඳයි.

රුපියලේ අගය පහත වැටීමේ ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ දෙයක් නොවේ. අපට වඩා බලවත් රටවලටද මෙම ගැටලුව බලපා තිබෙනවා. ඉන්දියාව, ඉන්දුනීසියාව වැනි රටවල මුදල් ශ්‍රී ලංකාවේ මුදල්වලටත් වඩා අවප්‍රමාණය වී තිබෙනවා. මේ සඳහා නොයකුත් කාරණා බලපා තිබෙනවා. ශ්‍රී ලංකාවට මෙය වඩා වාසිදායක වන්නේ අපනයන ප්‍රමාණය ඉහළ නැංවීමයි. මේ සඳහා යම් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.

මහනුවර - නදීක දයා බණ්ඩාර