රවීන්ද්‍රගේ මෙක්සිකෝ ගමන විදේශ අමාත්‍යංශයට හොරෙන්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මෙක්සිකෝවේ නිදහස් උත්සවය සඳහා නිල සංචාරයක නිරත වන බව ඔහුගේ කාර්යාලය මෙන්ම ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ප්‍රකාශ කළ ද ඒ පිළිබඳ කිසිම තොරතුරක් විදේශ කටයුතු අමාත්‍යංශයට ලැබී නොමැති බව වාර්තා වේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිගේ එම සංචාරය පිළිබඳ කිසිදු දැනුම් දීමක් තම අමාත්‍යංශයට කර නැති බව විදේශ අමාත්‍යංශයේ ඉහල නිලධාරියකු අනිදා වෙත පවසා තිබේ.


සාමාන්‍ය යෙන් සිදු කෙරෙන්නේ නිල සංචාර සඳහා විදේශගත වීමෙන් ඊට අදාළ වීසා ලබා ගැනීම ඇතුළු පහසුකම් ලබා ගැනීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය දැනුවත් කර එම කටයුතු සිදුකර ගැනීමය.

සැප්තැම්බර් 10 දින කට උත්තරයක් ලබා ගැනීම සඳහා අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න කැඳවා තිබුණු අතර එදින ඔහු කිසිදු දැනුම් දීමකින් තොරව මෙක්සිකෝව බලා පිටත්ව ගොස් තිබේ.

නැවත ඔහු සැප්තැම්බර් 19 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවිමට නියමිත බව එම දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබේ.

නඩු නැති අත්අඩංගුවට ගැනීම් !

මේ අතර, අද (14) පෙරවරුවේ ජනපතිවරයා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය කාලයේදී පරීක්ෂණ සිදුකරමින් ආරක්ෂක අංශවල සාමාජිකයන් අත්අඩංගුවට ගෙන ඇතැමෙකු රඳවාගෙන තවත් පිරිසක් ඇපමත මුදාහැර ඇතත් ඔවුන්ට එරෙහිව චෝදනා පත්‍ර ලබාදී කිසිවකුට නඩු පවරා නැති බවයි.

එසේ නඩු නොපවරා අත්අඩංගුවට ගැනීමෙන් ආණ්ඩුව රණවිරු දඩයමක නිරතවන බවට චෝදනා එල්ලවන බවද ජනාධිපතිවරයා පැවසීය.

(මූලාශ්‍රය අනිද්දා)