gossip lanka

ෆොන්සේකාට වැඩ වරදියි – ජනපති දැඩි තීන්දුවකට සූදානම්

අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් පසුගිය සති කිහිපය තිස්සේ ආරක්ෂක අංශ සහ යුද හමුදාපතිවරයාව දැඩි සේ විවේචනය කරනු ලැබුවා.

මෙම තත්ත්වය යටතේ ඔහුගේ ෆීල්ඩ් මාර්ෂල් ධූරය ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පුවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත්
කළ යුතුව ඇති අතර මේ වනවිටත් ජනාධිපතිවරයා එම තීන්දුව ගැන සිය උපදේශකයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.

අමාත්‍ය ෆොන්සේකා විසින් කරන ලද විවේචන ගැන යුද හමුදාවේ දැඩි කනස්සල්ල ආරක්ෂක අමාත්‍යවරයා ද වන ජනාධිපතිවරයා වෙත හමුදාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් විසින් දැනුම් දී ඇතැයි ද සඳහන්.

මේ ගැන රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ගණනාවක් සමඟ අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා අමාත්‍ය ෆොන්සේකා සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට අගමැතිවරයා මෙරටට පැමිණි විගස සාකච්ඡාවක් කරන බව ද පවසා තිබෙනවා.

මේ අතර තහවුරු නොකළ රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග උපුටා දක්වමින් සති අන්ත පුවත්පතක් අනාවරණය කරන්නේ සරත් ෆොන්සේකාට ෆීල්ඩ් මාර්ෂල් ධූරය හෝ කැබිනට් ධූරය යන දෙකින් එකක් අහිමි විය හැකි බවයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවශ්‍ය පියවර ගනිමින් සිටිනා බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක ද පසුගියදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.